Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Sunday, January 26, 2020

දැව ගැන

දැව
ඉදිකිරීම් කර්මාන්තයේ දී යොදා ගන්නා ප‍්‍රධාන ද්‍රව්‍යයක් ලෙස දැව හඳුන්වා දිය හැකි ය.
ස්වභාවයෙන් පවතින ගස්වල කඳ සහ අතු පරිවර්තනය කිරීම මගින් ලබා ගන්නා දැව සේම දැව කොටස් යොදාගෙන නිපදවනු ලබන කෘතිම දැව ද භාවිතයට ගනු ලැබේ.
අනෙක් ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය හා සසඳන කළ වැඩි විවිධත්වයක් ඇති ද්‍රව්‍යයක් ලෙස සැලකිය හැකි ය.
දැව කඳන් පරිවර්තන කටයුතු මගින් ලබා ගන්නා දැව ස්වාභාවික දැව වන අතර දැව කොටස් භාවිතයට ගෙන නිපදවනු ලබන දැව කෘති‍්‍රම දැැව ලෙස හැඳින්වේ.

ස්වභාවික දැව (Natural Timber)
ස්වභාවික ව වැඩෙන සහ වන වගා කරනු ලබන ගස්වල කඳන් පරිවර්තනය කර ලබා ගන්නා දැව ස්වභාවික දැව ලෙස හැඳින්වේ.
ඉදිකිරීම් කර්මාන්තයේ දී භාවිතවන, අවශ්‍යතාවට ගැළපෙන ගුණාංග දැවවල පිහිටා තිබීම හේතුවෙන් දැව බහුල ව යොදා ගනී. දැවවල ඇති ස්වාභාවික ගුණාංග මොනවාදැයි සොයා බලමු.
    ■ ශක්තිය - Strength
    ■ කල්පැවැත්ම - Durability
    ■ දැඩි බව - Hardness
    ■ නැමෙනසුළු බව - ත්‍කැංසඉසකසඑහ
    ■ අලංකාරය (සිත් ඇදගන්නා සුළු) - Flexibility
    ■ කම්පනයට ඔරොත්තු දීම.

ශක්තිය
දැව ආතන්‍ය ප්‍රත්‍යාබල සහ සම්පීඩන ප්‍රත්‍යාබලවලට ඔරොත්තු දෙයි. දැව විශේෂ අනුව එහි ඇති ශක්තිය විවිධ වේ. මෘදු දැව සහ තද දැව වශයෙන් විශේෂ පවතී. ඉදිකිරීම් කටයුතුවල දී මෘදු දැව සහ තද දැව බහුල ව යොදා ගැනේ.

කල්පැවැත්ම
කාලගුණික හා දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙමින් දිගු කාලයක් පවත්වා ගැනීම, මෙන් ම දිලීර, බැක්ටීරියා, කෘමි උවදුරුවලට ඔරොත්තු දීමේ හැකියාව නිසා දැව හානියට පත් නොවේ. එවැනි තත්ත්වයන්ට භාජනය නොවීමෙන් දැවවලට කල් පැවැත්මට හැකියාව ලැබේ.

නැමෙන සුලූ බව
දැවයකට බරක් යෙදීමේ දී එහි නැමීම සහ ඇඹරීම සිදු වේ. එම බර ඉවත් වීමෙන් නැවත යථා තත්ත්වයට පත්විය හැකි ය. මෙම තත්ත්වය ප‍්‍රත්‍යස්ථතා ගුණය හේතුවෙන් ද, දැව මාංශයේ පවතින කෙඳිවල තත්ත්වය හා විශේෂ ගුණය හේතුවෙන් ද නැමෙන සුලූ බව දැවවලට ලැබේ.

දැඩි බව
සමහර දැවවල පවතින මාංශයේ තද බව නිසා එම දැව කැපීම, සීරීම, විදීම යන කි‍්‍රයාවන් සඳහාත්, ගෙවීමට ප‍්‍රතිරෝධයත් දක්වයි. මෙම තත්ත්වය දැඩි බව ලෙස හැඳින්වේ.

අලංකාරය
දැව විශේෂවල පවතින වර්ණ වෙනස්කම් මෙන් ම වාර්ෂිකව වැඞීමේ වෙනස්කම් මගින් නිර්මාණය වන වයිරම හා නහර හැඩයන් අනුව පරිවර්තනය කරන ලද ලී හා ලෑලිවල මතුපිට අලංකාර හැඩතල පවතී. මේවා ස්වභාවිකව ම නිර්මාණය වේ. ඒවායින් දැව සඳහා විශේෂ අලංකාරයක් ලබා දේ.

කම්පනයට ඔරොත්තු දීම
කම්පනය නිසා ඇතිවන වික‍්‍රියාවට ඔරොත්තු දීමේ ගුණය අනෙක් ඉදිකිරීම් ද්‍රව්‍ය වලට වඩා දැවවල ඉහළය. එම නිසා විවිධ ඉදිකිරීම් හා තැනීම් කටයුතු සඳහා යොදා ගැනීමට සඳහා දැව සුදුසු වේ.

ස්වභාවික දැව ලබා ගන්නා ශාක සැලකීමේ දී ශී‍්‍ර ලංකාවේ දී ශාක විශේෂ 200 ක් පමණ දැව සහ දර සඳහා භාවිත වේ. මෙලෙස භාවිතවන දැව ශාක වර්ධනය වන ක‍්‍රමය හා කඳෙහි බාහිර සහ අභ්‍යන්තර ස්වරූපය අනුව වර්ග කළ හැකි ය.
  • ඒක බීජ පති‍්‍ර ශාක
  • ද්වි බීජ පති‍්‍ර ශාක
මෙම වර්ග දෙකෙහි දැව සඳහා වන සුවිශේෂ ලක්ෂණය කඳෙහි සිදුවන වර්ධන වෙනසයි.

ඒක බීජ පති‍්‍ර ශාක
ඒක බීජ පති‍්‍රක ශාක කඳ කුහර සහිත ව හෝ බොඩය සහිත ව වැඩේ. මෙම ශාඛ කඳන් පිටතට නොවැඩෙන අතර ඇතුළතින් වැඩී මේරීම සිදු වේ. අරටුව පිටත සිට ඇතුළතට වර්ධනයවන බැවින් මේවා අන්තර්වෘද්ධි ශාක ලෙස ද නම් කරයි. දැව ලබා ගන්නා ප‍්‍රධාන කොටස අරටුව වේ. ඒක බීජ පත‍්‍රික ශාක ලෙස පොල්, කිතුල්, තල් දැව සඳහා ප‍්‍රමුඛ වේ. ඉදිකිරීම්
කර්මාන්තයේ වෙනත් යෙදීම් සඳහා පුවක් සහ උණබට වැනි ඒක බීජ පති‍්‍රක ශාක යොදා ගැනීම ද සිදු වේ.

ද්වි බීජ පති‍්‍රක ශාක
ඒක බීජ පති‍්‍රක නොවන ශාක ද්වී බීජ පති‍්‍රක ශාක ලෙස හැඳින්වේ. කඳ, ඇතුළත සිට පිටතට මේරීම සිදු වේ. ඒ නිසා මෙම ශාක බහිර් වෘද්ධි ශාක යන නමින් ද ව්‍යවහාර වේ. මෙම වර්ගයේ ශාකවල කඳ විශාල ව වැඩෙන අතර සෘතුවෙන් සෘතුවට එසේ වැඩෙන කොටස ශාකයේ මාංසය ලෙස හැඳින්විය හැකි ය. මාංසය වර්ෂයෙන් වර්ෂයට මෝරමින් අරටුව බවට පත් වේ.

දැවවල පවතින ශක්තිමත් බව පදනම් කර ගනිමින් මෙම දැව ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි ය.
  1. මෘදු දැව
  2. තද දැව

මෘදු දැව (Soft Wood)
  • ලූණු මිදෙල්ල, ඇල්බීසියා - 
      තාවකාලික වැඩ සඳහා, කොන්කී‍්‍රට් හැඩයම (Shuttering) සඳහා,              මුක්කු ගැසීමට, පලංචි (Scaffolding) සඳහා
  • ගිනි සපු - 
       වඩිම්බු, සීලිම, ඇසුරුම් පෙට්ටි, රාක්ක, සෙල්ලම් බඩු


තද දැව (Hard Wood)
  • පළු, නැදුන්, බුරුත - 
      පරාල, බාල්ක සහ වහල රාමු ආදී වූ ස්ථීර වැඩ සඳහා
  • තෙක්ක, බුරුත, හල්මිල්ල, කොස් - 
      දොර සහ ජනෙල්, සොල්දර, තරප්පු, වෙන්කිරීම් සඳහා යොදා                   ගැනේ.

කෘත‍්‍රිම දැව
දැව සහ දැවවල කොටස් යොදා ගෙන නිපදවනු ලබන දැව කෘත‍්‍රිම දැව ලෙස හැඳින්වේ. මේවා සකස්කරනු ලබන ආකාරය අනුව විවිධ ප‍්‍රභේද පවතී. ස්වභාවික දැව හිඟවීම නිසා යම් යම් කාර්යයන් සඳහා ආදේශ කරගත හැකි දැව වර්ග කිහිපයක් පහත දැක්වේ.

තුනී ලෑලි (Plywood)

 
ආස්තෘත ලෑලි (Laminated board)
බ්ලොක් බෝඩ් (Block board)
 චිප් බෝඩ් (Chip board)
හාර්ඩ් බෝඩ් (Hard board)
මධ්‍ය ඝනත්ව කෙඳි (M.D.F) ලෑලි
(Medium Density Fiberboard)

දැව වර්ගීකරණය (Classification of timber)
අවශ්‍යතා අනුව දැව වර්ගීකරණ කිහිපයක් ඇත.
  • උද්හිද විද්‍යාත්මක වර්ගීකරණය
  • දැව භාවිතය අනුව වර්ගීකරණය
  • දැවවල ආනමන ප‍්‍රබලතා අනුව වර්ගීකරණය
  • පැවැත්ම අනුව වර්ගීකරණය
  • දැව හඳුනා ගැනීමේ ලක්ෂණ අනුව වර්ගීකරණය
  • රාජ්‍ය දැව සංස්ථාවේ වර්ගීකරණය

මෙම වර්ගීකරණ අතරින් රාජ්‍ය දැව සංස්ථාවේ වර්ගීකරණය පිළිබඳව සලකා බලමු.
රාජ්‍ය දැව සංස්ථාවේ වර්ගීකරණය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාවිත කළ වර්ගීකරණය වූ,
  • ජනපි‍්‍රයතාවය (වයිරම් රටාවේ ආකර්ශනීය බව, පොලිෂ් කිරීමට පහසු  බව)
  • කල්පැවැත්ම
  • හිඟය
යන සුවිශේෂතා අනුව ඒවාට වටිනාකම් දීමෙන් රාජ්‍ය දැව සංස්ථාව දැව ශ්‍රේණි අටකට වර්ග කර තිබේ.
  • සුපිරි සුඛෝපභෝගී පංතිය (Supper Luxury) - කළුවර, තේක්ක, නැදුන්.
  • සුඛෝපභෝගී පංතිය (Luxury Class) - බුරුත, හල්මිල්ල, මහෝගනි.
  • විශේෂ ඉහළ පංතිය (Special Class Upper) - කොස්, කොළොන්, වෙලන්.
  • විශේෂ පන්තිය (Special Class) - පලූ, කුඹුක්, සියඹලා.
  • පළමු පන්තිය (Class 1) - කැටකෑල, වල්දෙල්, පාතක්ක.
  • දෙවන පන්තිය (Class 11) - ගිනි සපු, ඇහැළ, වැලිපැන්න.
  • තුන්වන පන්තිය (Class 111) - අරිද්ද, ඇටඹ, සුළු, කස, දව්, දිය, තාලිය, ගොඩ කදුරු, ගොඩකිරිල්ල, ගොකටු, ගොරක, කහට, කටබොඩ, ලූණුමිදෙල්ල, මලබොඩ, මොර, පයිනස්, රට, අඹ, රබර්, සබුක්කු, තෙළඹු.
  • තුන්වන පහළ පන්තිය (Class 3 Lower) - ඉහළ වර්ගීකරණයට අයත් නොවන ගුණාත්මක තත්ත්වයෙන් පහළ දැව.

විවිධ දැව විශේෂ හා ඒවායේ යොදා ගැනීම්
  • නැදුන්, තේක්ක, බුරුත, මැහෝගනි - ගෘහ භාණ්ඩ තැනීම සඳහා ද
  • බුරුත, කොස්, හල්මිල්ල, කොහොඹ - දොර ජනෙල වැනි ඉදිකිරීම් සඳහා ද
  • කළුවර - ඉතා අනර්ඝ ගෘහ භාණ්ඩ තැනීම හා කැටයම් වැඩ මූර්ති නිර්මාණය සඳහා ද,
  • වල්දෙල්, දොඹ, කීන ආදී දැව - ඔරු, පාරු හා ගොඩනැගිලි ඉදිකිරීම් වැඩ සඳහා ද,
  • ගිනිසපු - වඩිම්බු ලෑලි, පාසල් ළමා මේස හා පුටු, රාක්ක, සෙල්ලම් බඩු ආදිය තැනීම සඳහා ද, භාවිත කරයි.


දැව දෝෂ (Defects in timber)
දැව පරිවර්තනයෙන් පසු ලබාගන්නා ලෑලි සහ ලීවල විවිධ දුර්වලතා දක්නට ලැබේ. එම දුර්වලතා හඳුනා ගැනීමෙන් කාර්යයට උචිත දැව තෝරා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. දැවයක දක්නට ලැබෙන මෙම දුර්වලතා දැව දෝෂ ලෙස හැඳින්වේ.
දෝෂ සහිත දැව ප‍්‍රයෝජනවත් කාර්යය සඳහා යොදා ගැනීම සුදුසු නොවේ. එවැනි දැව භාවිතයෙන් සකස් කරන ලද දැව භාණ්ඩ කල් පැවැත්ම අඩුවන අතර ඒවායේ අගය ද අඩු වේ. බොහෝ විට ඔප දැමීම ද අපහසු ය.

දැවවල ඇතිවන දෝෂ කිහිපයක්
  • කොස්ස (Cross grain) 
  • ඇටුවම (Buttresses)
  • පලූද්ද (Crack)
      - වට පලූද්ද (Ring shake)
      - අරටු පලූද්ද (Heart shake)
      - තරුපලූද්ද (Star shake)
      - අඩවට පලූද්ද (Cup shake)
  • ගැටය (Knot) 
     - මළ ගැටය (Dead knot)
     - බඳ ගැටය (Live knot)
  • දිරුම (Rot)
  • ඇඹරුම (Twist)
  • එළය (Sap wood)
  • ඉරිමදය (Pith)
  • හරඬුව (Spike)
  • මැලියම් නහර

කොස්ස
දැව නිර්මාණයේ දී හට ගන්නා කෙඳි ‍සෛල මාංසය දික් අතට විහි දී තිබිය යුතු නමුත්, ශාක කඳ කුඩා කාලයේ සුළඟට ඇඹරීම නිසා දැව කෙඳි විවිධ දිසාවනට ඇඹරීයාමට පුළුවන. එසේ පිහිටා තිබීම හේතුවෙන් කොස්ස ඇතිවේ. කොස්ස සහිත දැව යතු ගෑමේ දී කීරි ඇවිස්සීම සිදුවේ. ඒ නිසා හොඳ නිමාවක් ලබා ගැනීම අපහසුය.

ඇටුවම
කඳ පැහැදිලි වෘත්තාකාර හැඩයක් නොගන්නා අතර දෙපසට විහිදුනු විශාල මුල්වලට සම්බන්ධව කඳෙහි පහළ කොටසේ නෙරුම් හට ගනී. මෙම නෙරුම් ඇටුවම ලෙස හැඳින්වේ. ඇටුවම ඉවත්කර දැව ඉරා ගැනීමේ දී ලැබෙන දැව ප‍්‍රමාණය අඩුවීම සිදු වේ.

පලූද්ද
දැව කඳෙහි ඇතිවන විවිධාකාර පිපිරීම් මේ නමින් හැඳින්වේ. මෙවැනි පලූදු වර්ග හතරක් ප‍්‍රධාන වශයෙන් හඳුනා ගත හැකි ය. එනම්,
  • වට පලූද්ද

දැව සඳහා කපා දමනු ලබන කඳන්වල පොත්ත ඉක්මනින් ඉවත් කිරීම නිසා එහි එළය කොටසේ ජලය ඉක්මනින් වාෂ්ප වී ඉවත් වීම හේතුවෙන් ඵලය කොටස හැකිළීමට භාජනය වීමෙන් පිටත සිට ඇතුළට පිපිරීම් ඇති වේ. මෙම පිපිරීම් කඳ වටේට පිහිටා තිබීම නිසා වට පලූද්ද ලෙස ව්‍යවහාර කෙරේ.

  • අරටු පලූද්ද
කඳන්වල ඉරිමදයේ සිට පිටත දෙසට පිපිරීම් ඇතිවීම අරටු පලුද්ද ලෙස හැඳින්වේ.

  • තරු පලූද්ද

දැව සඳහා කඳන් කපා දමා දිගු කාලයක් හිරු එළියට නිරාවරණය වීමට ඉඩ හැරීමෙන් ඉරිමදයේ සිට ඇතිවන පැ`ඵම් තරුවක ආකාරයට පිහිටන විට ඒවා තරු පලුද්ද ලෙස හැඳින්වේ. මේ ලක්ෂණය මෘදු දැවවල බහුල ව දක්නට ලැබේ.

  • අඩ වට පලූද්ද

දැව කඳන්වල වාර්ෂික වළලුවලට සමාන්තරව ඇතිවන පැලීම් මේ නමින් හැඳින්වේ. ගස් වැඩීමේ දී කැම්බියම මගින් නිපදවන සෛල ඇදුනු බලයක් යටතේ තැන්පත් වීමෙන් ගස තුළ සම්පීඩන තත්ත්වයක් ඇති වේ. මෙම බලය නිසා විශාල කඳන් කැපූ පසු වාර්ෂික වළලුවලට සමාන්තරව පැළීම් ඇති වේ.

ගැටය
ගසක අතු හට ගැනීමට දායකවන අංකුර කඳ අභ්‍යන්තරයේ සිට වැඩෙන අතර, ඒ මගින් විශාල අතු ඇතිවීම සිදුවේ. එහෙත් කුමන හෝ හේතු නිසා සමහර අංකුර කඳ තුළ ම මැරී යෑම සිදුවිය හැකි ය. ගස් කඳන් ඉරූ විට වැඩුන අංකුරවලින් අතු හට ගත් ස්ථානවල දක්නට ලැබෙන සජීවි ගැට බඳ ගැට වේ. මෙම ස්ථානවල අලංකාර වයිරම් පිහිටයි. එහෙත් සමහර ලෑලිවල කළු පැහැති කොටස් ලෙස මිය ගිය අංකුර හෙවත් මළ ගැට දක්නට හැකි ය. මෙම මළ ගැටය මතට තෙරපුමක් යොදා ඉවත් කළ හැකි වේ.


එළය
දැවයේ අරටුවවන තද දැව කොටසට වඩා ලා පාටකින් යුක්තවන මෙම කොටස එළය නම් වේ. පොත්තත් අරටුවත් අතර දැව කොටස එළය කොටසට අයත් වේ. මෙම කොටසේ තෙතමනය හා පෝෂ්‍ය කොටස් වැඩිවන අතර ශක්තිය අඩු ය. ඒ නිසා පහසුවෙන් කෘමි හානිවලට ගොදුරු වේ.
හරඬුව
දැව කෙඳි දෑතට විහි දී යෑම හරඬුව වේ. මෙය කොස්ස නැමති දෝෂයේ එක්තරා අවස්ථාවකි. හරඬුව පිහිටි ස්ථානයෙන් දැවය පිපිරී හෝ කැඩී වෙන්වී යාමට පුළුවන.

මැලියම් නහර
ගස් වැඩෙන අවස්ථාවේ දී ගසේ වාර්ෂික වළලු අතර මැලියම් තැන්පත් වීමෙන් මෙම දෝෂය ඇති වේ. පරිවර්තනය කරන ලද ලෑලිවල මෙම මැලියම් නහර දැක ගත හැකි ය. මැලියම් නහර සහිත කොටස් ශක්තියෙන් අඩු අතර ඔප දැමීම හෝ තීන්ත ආලේප කිරීම කළ නොහැක.

ඉරූ දැව හැකිළීමේ දී ඇතිවන දෝෂ
පරිවර්තනය කරන ලද දැව ක්‍රමවත් ලෙස ගබඩා නොකිරීම හා නිසි පරිදි පදම් නොකිරීම නිසා ද දැවවල දෝෂ හට ගනියි. එවැනි දෝෂ කිහිපයක් පහත රූප සටහන් මගින් හඳුනා ගත හැකි ය.
දැව පදම් කිරීම (Seasoning of timber)
දැවවල අඩංගු තෙතමනය ක්‍රමානුකූලව අඩුකර පරිසරයේ ආර්ද්‍රතාවයට සමාන කිරීම දැව පදම් කිරීම ලෙස හැඳින්වේ. 
දැවවල ඇති තෙතමනය, දැව වායුගෝලයට නිරාවරණය වූ විට වාෂ්ප වී ඉවත් වේ. අක්‍රමවත් ලෙස ජලය ඉවත්වීම නිසා දැව ඇද ගැසීම, ඇඹරීම, වක ගැසීම, පැළීම, ඉරි තැලීම, හැකිළීම ආදී හානිවලට පත් වේ. එහෙත් මනාව පදම් කරන ලද දැව දේශගුණික හා කාලගුණික වෙනස්වීම්වලට ඔරොත්තු දෙයි. ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා දැව පදම්කර භාවිතයට ගැනීම ඉතා වැදගත් වේ.
පදම් කිරීමේ ප්‍රධාන ක්‍රම තුනකි.

  • ස්වාභාවික පදම් කිරීම හෙවත් පවනේ පදම් කිරීම.
  • පෝරණුවේ පදම් කිරීම හෙවත් කෘත්‍රිම පදම් කිරීම.
  • මිශ්‍ර පදම් කිරීම හෙවත් පවනේ හා පෝරණුවේ පදම් කිරීම.

දැව පදම් කිරීම නිසා,

  • දැවවල වූ අනවශ්‍ය බර ඉවත් කිරීම.
  • ප්‍රමාණවත් ලෙස ශක්තිය වර්ධනය කිරීම.
  • වැඩ කිරීමේ හැකියාව වැඩි කිරීම.
  • පළුදු හා පුපුරායාමට ඇති හැකියාව අවම කිරීම.
  • පවත්නා ආයු කාලය ඉහළ නැංවීම සිදු වේ.


දැව සංරක්ෂණය (Preservation of timber)
දැව ඉතා හිඟ සම්පතක්වන අතර ආර්ථික අතින් වැඩි වටිනාකමක් ඇති ද්‍රව්‍යයකි. එම නිසා දැවවලින් නිර්මිත ගෘහ භාණ්ඩ, ව්‍යුහ හා උපකරණවල දිගුකල් පැවැත්ම වඩාත් අත්‍යවශ්‍ය සාධකයකි. 
දිගු කලක් පැවතීමට හැකි තත්ත්වයට පත් කිරීම දැව සංරක්ෂණය ලෙස හැඳින්වේ. 
කෘමි සතුන් හා දිලීර මගින් දැව සඳහා හානි පැමිණේ. එබැවින් දැව සංරක්ෂණය කරගත යුත්තේ දිලීර සහ කෘමී සතුන්ගෙනි.
සංරක්ෂණය කිරීමට යොදා ගන්නා මාධ්‍ය අනුව දැව සංරක්ෂණ ක්‍රම දෙකක් හඳුනාගත හැකි ය. 

  1. රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් දැව සංරක්ෂණය.
  2. සාම්ප්‍රදායික ක්‍රම උපයෝගි කරගනිමින් දැව සංරක්ෂණය

දැව සංරක්ෂණය සඳහා භාවිතයට ගන්නා රසායනික ද්‍රව්‍ය

  • ක්‍රියෝසෝඑට්
  • පෙන්ටර් ක්ලෝරොෆිනෝල්
  • කොපර් නැප්තනේට්
  • සොලිග්නම්
  • ක්‍රියෝසෝඑට් හා තාර මිශ්‍රණය

සාම්ප්‍රදායික ක්‍රම

  • මඬේ දැමීම
  • ගින්නෙන් තැවීම
  • පිළිස්සීම
  • තම්බා ගැනීම

රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් දැව ආරක්ෂා කිරීම
මේ සඳහා උපයෝගී කරගනු ලබන ද්‍රව්‍ය දැවවලට හානි කරන කෘමි සතුනටත්, දිලීර වර්ගවලටත් වැඩීමට හා දැවවලට හානි කිරීමට අවස්ථා නොදේ. බොහෝ විට මෙම ද්‍රව්‍ය තුනී දියර වර්ගවන අතර, පහසුවෙන් දැවය තුළට කාවැඳීම සිදුවේ. මෙම දැව ආරක්ෂිත ආලේපන වර්ග ක්‍රම කිහිපයකට දැවය තුළට කාවැද්දීම කළ හැකි වේ.

ආලේප කිරීම
දැවයේ සෑම කොටසක් ම ආවරණයවන පරිදි මනාව ආලේප කළ යුතු ය. දින දෙක, තුනකට පසු නැවත ආලේප කිරීමෙන් වඩාත් යහපත් ආරක්ෂණ තත්ත්වයක් ඇතිවේ.

නැහැවීමදෙකෙළවර විවෘත විශේෂයෙන් සකස් කළ නළයක් තුළින් දැවය ගමන් කිරීමට සලස්වා ආරක්ෂක ද්‍රව්‍ය ඉසීම මෙම ක්‍රමයේ දී සිදු කෙරේ.

ගිල්වීම
ආරක්ෂක දියර සහිත ඔරුවක දැවය ගිල්වා තබා ආරක්ෂක දියරය අවශෝෂණයවීමට සැලැස්වීම මගින් දැව සංරක්ෂණය කිරීම මෙම ක්‍රමය වේ.

පීඩනයට පත් කිරීම
සම්පූර්ණයෙන් සංවෘත කළ හැකි විශේෂ නළයක් තුළට දැව කොටස් ඇතුළු කර නළය තුළ උෂ්ණත්වය අවශ්‍ය පරිදි පාලනය කරමින් දැවයේ අඩංගු තරලය වාෂ්ප කර හැරීමෙන් පසුව අධික පීඩනයක් යටතේ ආරක්ෂක ද්‍රව්‍ය දැවයට කාවැදීමට සැලැස්වීම මෙම ක්‍රමයේ දී සිදු කරනු ලබයි.

සම්ප්‍රදායික ක්‍රම
මඬේ දැමීම
අඹ, ලූණුමිදෙල්ල වැනි දැව වර්ග මඬේ ගිල්වා තැබීම නිසා දැවයේ මාංශ අතර අඩංගු ආහාරමය කොටස් වියෝජනයවීමට සැලැස්වීමෙන් කෘමි සතුන්ට දැව කෙරෙහි ඇති ආකර්ශනය දුරුකර දැව ආරක්ෂා කර ගැනීම සිදුවේ.

පිළිස්සීම
වර්තමානයේ දැව පිළිස්සීමෙන් සංරක්ෂණය කිරීමේ ක්‍රමය බොහෝදුරට ඉවත් ව ඇත. ලී, කම්බි, කණු, වරිච්චි බිත්ති සඳහා වූ කණුවල පිට පොත්ත හා දැවයේ යම් කොටසක් පිළිස්සීමට ලක්කර භාවිතයට ගැනීම සිදුවේ.

ගින්නෙන් තැවීම
පොල්තෙල් හෝ වෙනත් තෙල් වර්ගයක් ආලේපකර උණ ලී වැනි දැව වර්ග ගිනිමැලයක් මතින් එහාට මෙහාට කිරීම හා වටේට කරකවමින් තවා ගැනීම මගින් දැවයට කෘමි සතුන්ගෙන් සිදුවන හානි වළක්වාගනු ලැබේ.

තම්බා ගැනීම
දැවයේ සෛල අතරින් විනිවිද ගොස් ඝන බවට පත් වී සිදුරු වසා දමන ද්‍රව බවට පත්කළ දුම්මල වර්ගයක් ආලේප කරනු ලබන තවත් ක්‍රමයකි, තම්බා ගැනීම. විශේෂයෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දැව හා දැවමය නිර්මාණ සංරක්ෂණයට මෙම ක්‍රමය උපයෝගි කරනු ලබයි.

Tuesday, January 14, 2020

සමෝච්ඡ රේඛා මඟින් භූ විෂමතා ලක්ෂණ හඳුනා ගැනීම


තැනිතලාව
තැනිතලා ප‍්‍රදේශවල අඩු විෂමතාවක් දක්නට ලැබුණ ද ඇතැම් විට තැනිතලාවේ උස් ස්ථාන ද තිබිය හැකි ය. එවැනි ස්ථාන තැන් උස මඟින් දැක්වේ. සිතියමක තැනිතලා බිමක් හඳුනා ගත හැක්කේ සමෝච්ච රේඛා නොමැති වීම හෝ සමෝච්ච රේඛා කීපයකට පමණක් සීමා වීම මඟිනි. මෙවැනි ප‍්‍රදේශවල උස දැන ගත හැක්කේ තැනින් තැන දක්වා ඇති තැන් උස ආධාරයෙනි.

රැලි බිම
කැපී පෙනෙන භූ ලක්ෂණ නොමැති නමුත් සම්පූර්ණයෙන් ම තැනිතලා බිමක ස්වරූපයක් නොගන්නා ප‍්‍රදේශයකි. තැනිතලා බිමෙහි තැනින් තැන මදක් උස්බිම් ද දැකිය හැකි ය.

උත්තල බෑවුම සහ අවතල බෑවුම
කඳුවැටියක මුදුනේ දී දළ බෑවුමකුත් කඳු පාමුල මද බෑවුමකුත් ඇති කඳුවැටි ඔබ දැක තිබෙන්නට පුඵවන. එබඳු කඳු වැටියක් සිතියම් ගත කිරීමේ දී කන්ද පාමුල දී සමෝච්ච රේඛා ඈතින් ද (මද බෑවුම) කන්ද මුදුනේ දී සමෝච්ච රේඛා ළංව ද (දළ බෑවුම) අඳිනු ලැබේ. එය අවතල බෑවුමකි. එමෙන් ම කන්ද පාමුල දී සමෝච්ච රේඛා ළංව ද කඳු මුදුනේ දී සමෝච්ච රේඛා ඈතින් ද විහි දී ඇත්නම් එය උත්තල බෑවුමකි.
                                A- B - අවතල බෑවුම
                                B- C - උත්තල බෑවුම

මොහොර බෑවුම
භූ තලයේ එක් මට්ටමක සිට තවත් මට්ටමක් යා කරන දළ බෑවුමකි. සමෝච්ච රේඛා ඉතා ළං ව පිහිටා ඇත. සමහර අවස්ථාවල සමෝච්ච රේඛා එක පිට එක වැටෙන තරමට ළං වේ. බොහෝ දුරට ශ්‍රී ලංකාවේ එක් අඩතැන්නක සිට අනෙක් අඩතැන්න යා කෙරෙනුයේ මොහොර බෑවුම්වලිනි.
සානුව
උස් සම භූමිය සානුවකි. මෙම භූමිය පහත් බිමින් වෙන් වන්නේ බොහෝ දුරට දළ බෑවුම්වලිනි. සිතියමක සානුවක් පහසුවෙන් හඳුනා ගත හැක්කේ බොහෝ දුරට සානුව මතුපිට සමෝච්ච රේඛා මද වශයෙනුත් පැතිවල සමෝච්ච රේඛා ළං ව පිහිටීමෙනුත් ය.

ආයතගාමී නිම්නය හා තීර්යක් නිම්නය
කඳුවැටි විහිදෙන දිශාවට සමාන්තර ව විහිදෙන නිම්න ලක්ෂණයන් හඳුන්වන්නේ ආයතගාමී නිම්න වශයෙනි. කඳුවැටි විහිදෙන දිශාවට ප‍්‍රතිවිරුද්ධ ව විහිදෙන නිම්න තීර්යක් නිම්න වේ. ගංගා ආයතගාමී සහ තීර්යක් නිම්න දිගේ ගලා බැසීම නිසා ජාලාකාර ජලවහන රටා සෑදේ.
කපොල්ල
කඳුවැටි දෙකක් අතර පිහිටි පහත් ප‍්‍රදේශය කපොල්ලකි. කපොල්ලක් හරහා ගංගාවක් වැනි දියපාරක් විහි දී තිබේ නම් එය ජල කපොල්ල නමින් ද ගංගා ගැලීමක් හෝ ජලවහනයක් හෝ නොමැති කුඩා කපොල්ල සුළං කපොල්ල නමින් ද හැඳින්වේ.






Monday, January 13, 2020

ශාක රෝග සහ පළිබෝධ කළමණාකරණය

මෙන්න කෘෂි විද්‍යාව හදාරන දරුවන්ට මම ගානේ ටියුට් එකක්. ශාක රෝග, පළිබෝධ, වල් පැළෑටි විතරක්  නෙවෙයි දියර ඉසින යන්ත්‍ර ගැනත් සම්පූර්ණ සිද්ධාන්ත ඇතුළත් සටහනක් මේක. ඩවුන්ලෝඩ් කරගෙන කියවලා දැනුම ලබා ගන්න.

මෙතන ක්ලික් කරලා බාගන්න.

Sunday, December 29, 2019

බීජ සුප්තතාව සහ එය මඟහැරීම

බීජ සුප්තතාව
පරිණත සජීවී බීජයකට ප්‍රරෝහණයට අවශ්‍ය තෙතමනය, උෂ්ණත්වය, ඔක්සිජන් වැනි සාධක ලබා දුන්න ද ජීව්‍යතාවෙන් යුතු බීජ ප්‍රරෝහණය නොවීම බීජ සුප්තතාව ලෙස හැඳින්වේ.

බීජ සුප්තතාවෙහි වැදගත්කම්

  • අධික වර්ෂා කාලවල දී මේරූ බීජ ඵල තුළ ම ප්‍රරෝහණය වීම වැළකීම
  • අහිතකර කාල මග හරවා ඉදිරි කාලවල සිටුවීමට ගබඩා කර තබා ගත හැකි වීම
  • සිටු වීම සඳහා යෝග්‍ය බීජ දුර බැහැර ප්‍රදේශවලට ද ප්‍රවාහනය කිරීමට හැකි වීම
  • අනාගත ප්‍රයෝජනය සඳහා සංරක්ෂණය කර තබා ගත හැකි වීම (බීජ අභිජනන ක්‍රියාවලිය සඳහා පසු කාලීන ව අවශ්‍ය බීජ ගබඩා කර තබා ගත හැකි ය)

බීජ සුප්තතවෙහි අවාසි
සුප්ත ව පවතින බීජ කිසිදු ප්‍රතිකාරයක් නොකර ක්ෂේත්‍රයේ සිටුවීම කළ හොත් වගාවේ පාළු ඇති වීම, වරින් වර පැළ හට ගැනීම නිසා ඒකාකාර වගාවක් නොලැබීම වැනි අවාසිදායක තත්ත්ව ඇති වේ. එලෙස ම වල් පැළෑටි බීජවල සුප්තතාව කෘෂිකාර්මික ව ඉතාමත් අවාසිදායක තත්ව ගෙන එයි. මේ නිසා ක්ෂේත්‍රයේ වල් මර්දනය කළ ද, සුප්ත වූ වල් බීජ මගින් පසු කාලීන ව නැවත වල් පැළ මතු වේ.

සුප්තතාවෙහි ආකාර
සුප්තතාව පහත අයුරු ප්‍රධාන ආකාර 3කට වර්ගීකරණය කළ හැකි ය.

1. ප්‍රේරිත සුප්තතාව (induced dormancy)
බොහෝ විට ශාකයේ වර්ධක කොටස්වල දක්නට ඇත. ශාකයක අග්‍රස්ථ ප්‍රමුඛතාව නිසා පාර්ශ්වික අංකුර වර්ධනය අඩු වීම ප්‍රේරිත සුප්තතාවකි.

2. පැවරූ සුප්තාව (imposed dormancy)
බීජ ප්‍රරෝහණයට අවශ්‍ය තත්ව ලබා නොදීම නිසා බීජ ප්‍රරෝහණය නොවීම පැවරූ සුප්තතාව වේ. පරිසරයෙන් ප්‍රරෝහණයට ඇති වන බාධා ඉවත් කළ විට මෙම සුප්තතාව බිඳී යයි.

3. සහජ/සත්‍ය සුප්තතාව (true dormancy)
බීජවල ස්වභාව ධර්මය විසින් ලබා දී ඇති කාල තරණ සත්‍ය සුප්තතාවට අයත් වේ.
සහජ සුප්තතාව පහත ආකාරයට නැවතත් වර්ගීකරණය කළ හැකි ය.

  • භෞතික සුප්තතාව - 

භෞතික බාධකයක් (තද පොත්ත) නිසා කලලයේ වර්ධනයට අවශ්‍ය ජලය හා ඔක්සිජන් නොලැබීම නිසා ඇති වන සුප්තතාව භෞතික සුප්තතාව වේ.

  • රසායනික සුප්තතාව - 

වර්ධක නිෂේධක හා හෝර්මෝන වැනි රසායනික ද්‍රව්‍ය හේතු කොට ගෙන බීජ සුප්ත වීම රසායනික සුප්තතාව වේ.

  • රූපානු විද්‍යාත්මක සුප්තතාව - 

කලලය රූපානු විද්‍යාත්මක ව හෝ කායික විද්‍යාත්මක ව පරිණත නොවීම නිසා ඇති වන සුප්තතාව යි.

සුප්තතාව ඇතිවීමට හේතු
1. බීජාවරණයේ ලක්ෂණ
(අ) ඝනකම් බීජාවරණය
මෙහි දී කලලය තුළට ජලය, වාතය විසරණයට බාධා ඇති වීමෙන් කලලයේ වර්ධනයට බාධා ඇති විය හැකි ය. 
උදා: අඹ, තේක්ක, ලූණු මිදෙල්ල වැනි බීජ
(ආ) දිලිසෙන බීජාවරණය
මෙහිදී බීජාවරණයේ දිලිසීම හේතුවෙන් ජලය හා ගැටීම වැළකීම නිසා බීජය තුළට ජලය ඇතුල් නොවේ. එවිට කලලයේ වැඩීමට බාධා ඇති වේ. උදා: ඇකේසියා, සියඹලා, මදටිය

2. බීජාවරණයේ හෝ බීජයේ විවිධ කොටස්වල ඇති රසායනික ද්‍රව්‍යවල ස්වභාවය
සමහර බීජවල බීජාවරණයේ හෝ බීජ තුළ කුමරන්, කැෆලින් අම්ලය වැනි වර්ධක නිෂේධක අඩංගු වේ. එවිට බීජ ප්‍රරෝහණය සිදු නොවේ. උදා: වැල්දොඩම්, ගස් ලබු, තක්කාලි

3. අල්ප විකසිත කලලය
මෙහි දී බීජය පරිණත ව පැවතුණ ද කලලය නිසි ලෙස පරිණත ව නොපවතී. එවැනි බීජ සිටුවූ විට කලලය පරිණත වන තුරු ප්‍රරෝහණය වීම සිදු නොවේ.
උදා: පොල්, තල්

4. අක්‍රිය කලලය
මෙහි දී බීජ පරිණත ව පැවතුණ ද කලලය අක්‍රිය ව පවතින බැවින් ප්‍රරෝහණය නොවේ.
උදා: වී බීජ

5. ආලෝක සංවේදී වීම
බොහොමයක් බීජ ආලෝකයට උදාසීන වුව ද සමහර බීජ ප්‍රරෝහණයට ආලෝකය අවශ්‍ය වේ. ආලෝක සංවේදී බීජ ආලෝකය (විශේෂයෙන් රතු ආලෝකය) නොමැති විට සුප්ත ව පවතී. 
උදා: සලාද බීජ

බීජවල සහජ සුප්තතාව ඉවත් කළ හැකි ක්‍රම

1. බීජාවරණය ඉවත් කිරීම හෝ කැපීම
ඝනකම් බීජාවරණ පවතින බීජවල බීජාවරණය කැපීම හෝ ඉවත් කිරීම මගින් ජලය සහ වාතය විසරණයට පවතින බාධකය ඉවත් වීම නිසා ප්‍රරෝහණය වේ. මෙහි දී කලලය හසු නොවන ආකාරයට බීජාවරණයේ කොටසක් ඉවත් කළ යුතු ය.
උදා : බීජාවරණය පිපිරවීම       - කරවිල
         බීජාවරණය ඉවත් කිරීම  - අඹ

2. බීජාවරණය සීරීම
දිලිසෙන බීජාවරණ පවතින බීජවල බීජාවරණය වැලි කඩදාසියකින් සීරීමෙන් දිලිසෙන ස්වභාවය ඉවත් වී ජලයට, වාතයට පාරගම්‍ය වේ. එමගින් බීජ ප්‍රරෝහණය වේ.
උදා: සියඹලා බීජ, දඹල බීජ

3. බීජාවරණය පිළිස්සීම
තේක්ක, ලුණු මිදෙල්ල වැනි බීජවල ඝනකම් බීජාවරණය මඳ වශයෙන් පිළිස්සීමෙන් ජලයට පාරගම්‍ය වී බීජ ප්‍රරෝහණය වේ.

4. වැඩි උෂ්ණත්වයක තැබීම හෝ උෂ්ණත්වය වෙනස් කිරීම
සමහර බීජ මාරුවෙන් මාරුවට අඩු හෝ වැඩි උෂ්ණත්වවලට භාජනය කිරීමෙන් සුප්තතාව ඉවත් කළ හැකි ය.

5. උණු ජල ප්‍රතිකාර කිරීම
දිලිසෙන බීජාවරණය පවතින බීජ උණු (45 - 50०C) ජලයේ ඉතා සුළු කාලයක් ගිල්වීමෙන් බීජාවරණය පිපිරී ජලයට හා වාතයට පාරගම්‍ය වීම නිසා ප්‍රරෝහණය වේ. ජලයේ උෂ්ණත්වය හා ගිල්වා තබන කාලය බීජ විශේෂය අනුව වෙනස් වේ.
උදා: ඇකේෂියා, ඉපිල් ඉපිල්, ඇහැළ

6 රසායනික ද්‍රව්‍ය යෙදීම
(i) 0.2%පොටෑසියම් නයිටේ්‍රට් ද්‍රාවණයක ගිල්වීම. 
    උදා: වී, කුරක්කන්, තක්කාලි
(ii) තනුක සල්ෆියුරික් අම්ලයේ මිනිත්තු 5-15 අතර ගිල්වීම
මේවා මගින් ඝනකම් බීජාවරණ මෘදු කර ගැනීමෙන් කලල සක්‍රිය කිරීමක් සිදු කළ හැකි ය. 
    උදා: තිරිඟු

7. ආලෝකය ලබා දීම
සලාද වැනි බීජවලට රතු ආලෝකය ලබා දීමෙන් ප්‍රරෝහණය උත්තේජනය කර ගත හැකි ය. මිලි මයික්‍රෝන 660 තරංග ආයාමයෙන් යුතු ආලෝකය සලාද බීජවල ප්‍රරෝහණයට ඉතා සුදුසු බව සොයා ගෙන ඇත.

8. ස්තරීභවනය (stratification)
මෙහි දී බීජ සහ තෙත වැලි ස්තර ලෙස ගබඩා කර තබයි. මෙහි දී බීජ ගබඩා කර තබන කාලය සුප්තතාවෙහි ප්‍රමාණය අනුව වෙනස් වේ. බීජ අඩු හෝ වැඩි උෂ්ණත්වයකට භාජනය කිරීමෙන් ද සුප්තතාව බිඳිය හැකි ය. කලල සුප්තතාව ඉවත් කිරීමට මෙම ක්‍රමය භාවිත කරයි.
උදා: රාබු, සලාද 20०C හි පැය 16 ක් තබා 30०C උෂ්ණත්වයෙහි පැය 8 ක් තැබීමෙන් සුප්තතාව බිඳිය හැකි ය.

9. නිෂේධක ද්‍රව්‍ය සෝදා ඉවත් කිරීම
බීජාවරණයේ නිෂේධක රසායනික ද්‍රව්‍ය පවතින විට ඒවා අළු හෝ වැලි සමග මිශ්‍ර කර පොඩි කර ජලයෙන් සෝදා හැරිම කළ හැකි ය. 
උදා: පැපොල්, වැල් දොඩම්, තක්කාලි

Sunday, December 22, 2019

දිසිඳි පොල් නිෂ්පාදනය (Desiccated coconut production)


උසස් මට්ටමේ ප්‍රමිතීන් පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පසු කැබලි කර, යන්ත්‍රානුසාරයෙන් මනාව වියළා ඇසිරීමෙන් පිරිසුදු ආහාර ද්‍රව්‍යක් ලෙසට නිපදවන දිසිඳි පොල් , පැහැයෙන් පොල් මදයේ සුදට සමානය. කිරි රසය සමඟ මඳක් පැණි රසය මුසු වු ප්‍රණිත ආහාරයකි. චොක්ලට් , කේක්, බිස්කට්, රසකැවිලි හා ක්ෂණික ආහාර නිෂ්පාදනය සඳහා දිසිඳි පොල් යොදා ගන්නා අතර දිසිඳි පොල් මෙ.ටො. 01ක් නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් පොල් ගෙඩි 7,797 ක් පමණ අවශ්‍ය වේ. අමෙරිකා එක්සත් ජනපදය, ඉරානය හා ඊජිප්තුව යන රටවල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිසිඳි පොල් මිලදී ගන්නා රටවල්වේ.

දිසිඳී පොල් නිෂ්පාදන කි‍්‍රයාවලියේ පියවර

පොල් ගෙඩි පදම් කිරීම (Seasoning)
පැසුණු පොල් ගෙඩි තෝරා, ඒවා 50 -60 cm ක් පමණ උසට ගොඩ ගසා පදම් වීම පිණිස මාස දෙකක් පමණ පොල් අතුවලින් වසා තැබීම

පොල් ලෙල්ල ඉවත් කිරීම (Dehusking)
පදම් කරගත් පොල් ගෙඩි පොල් උලක් මගින් හෝ පොල්ලෙලි ඉවත්කරන යන්ත‍්‍රයක් ආධාරයෙන් ලෙලි ගසා පොල් ලෙල්ල ඉවත් කිරීම

පොල් කටුව ඉවත් කිරීම (Hatchetting)
පහුණු  කම්කරුවන් ලවා විශේෂිත උපකරණයක (hatchet) ආධාරයෙන් පොල් මදයට හානි නොවන ලෙස පොල් කටුව කුඩා කැබලිවලට කඩා ඉවත් කර ගැනීම

පොල් කුරුට්ට ඉවත් කිරීම (Pairing)
පොල් මදය වටා ඇති දුඹුරු ආවරණය විශේෂිත පිහියක් ආධාරයෙන් කුරුටු ගෑම. මෙහි දී තේරීමක් සිදු කර ප‍්‍රරෝහණය වූ හා හානි වූ පොල් මද ඉවත් කරයි.

කැපීම හා සේදීම
කුරුට්ට ඉවත් කළ පොල් මදය කපා පිරිසිදු වතුරින් හො`දින් සෝදා ගැනීම (පඵදු වූ කොටස් ඇත්නම් මෙම අවස්ථාවේ දී ඉවත් කිරීම සිදු කරයි.)

ජීවාණුහරණය කිරීම (Sterilization)
කපාගත් පොල් මද කැබලි නටන උණු ජලයේ මිනිත්තු 1 1/2 පමණ ගිල්වා තබා ජීවානුහරණය කර ගැනීම. නටන උණු ජලයට අමතර ව 88-93 C ක්‍ අතර උෂ්ණත්වයේ පවතින වාෂ්පවලට මිනිත්තු 5ක පමණ කාලයක් නිරාවරණය කිරීමෙන් Salmonella වැනි අහිතකර බැක්ටීරියාවල කි‍්‍රයාකාරිත්වය නිෂේධනය කළ හැකි ය.

කුඩා කැබලිවලට වෙන් කිරීම (Shredding)
ජීවාණුහරණය කරන ලද පොල් මද කැබලි යන්ත‍්‍රානුසාරයෙන් අවශ්‍ය ප‍්‍රමාණයට හා හැඩයන්ට කපා ගැනීම.
උදා - සියුම් (fine), රළු (coarse), මධ්‍යම (medium) ආදිය

වියළීම
කුඩා කැබලිවලට වෙන්කර ගත් පොල් මද කැබලි වියළනයක තබා ප‍්‍රශස්ත උෂ්ණත්වයට හා කාලයට නිරාවරණය කර රත් වූ වාතයෙන් තෙතමන ප‍්‍රතිශතය 3% ක් පමණ වන තෙක් වියළා ගැනීම.

ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම
වියළන ලද දිසිඳි පොල් ඒවායේ කොටස්වල ප‍්‍රමාණ අනුව හළා ඇසුරුම් කිරීම. අසුරන ලද දිසිඳි පොල් සිසිල් වියළි තත්ත්ව යටතේ ගබඩා කර තැබීම.


මෙහි දී ඉවත් කරන පොල් කුරුට්ට කුරුටු තෙල් (Crude Oil) නිෂ්පාදනයට යොදා ගත හැකි අතර, ඉවත් වන පොල් කටු ජීවාණුහරණ කි‍්‍රයාවලියට අවශ්‍ය උණු ජලය සකසා ගැනීමට භාවිත කළ හැකිය.




Saturday, December 21, 2019

ජලය

මෙන්න ජලය සම්බන්ධ හොද ලේඛනයක්. ජලය ගැන තොරතුරු ගොඩක් තියෙනවා. ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට අතිරේක කියැවීමක් ලෙස මේක ගොඩක් ප්‍රෙයා්ජනවත් වේවි. මෙය ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශනයක්.

මෙතන ක්ලික් කරලා බාගන්න.

Wednesday, December 11, 2019

විදුලි පාහනය (Electric Soldering Iron)

පෑස්සුම් ද්‍රව්‍ය මගින් පෑස්සීම සිදු කිරීමට නම් පෑස්සුම් ද්‍රව්‍යයට තාපය ලබා දී ද්‍රව කර ගත යුතු ය. මේ සඳහා විදුලි පාහනය (බවුත්) භාවිත කරයි. මෙය සෘජුවම 230v මගින් ක්‍රියාකරවිය හැකි ය. විදුලි පාහනය තුළ තාපය ඉපදවීම සඳහා අවශ්‍ය නික්‍රෝම් කම්බි දඟරයක් යොදා ඇත. මෙම උපකරණ අතට අල්ලන කොටස හෙවත් මිට ප්ලාස්ටික් හෝ ලී වැනි විද්‍යුත් හෝ තාප පරිවාරක ද්‍රව්‍යයකින් තනා ඇත. නික්‍රෝම් දඟරය මගින් රත් වනු ලබන්නේ පාහනයේ තුඩ යි.

පාහනයේ තුඩ අවශ්‍යතාව අනුව විවිධ හැඩ යොදා සදා ඇත.

විවිධ බවුත් වර්ග


විදුලි පාහනය සඳහා ඇති තුඩ තඹ හෝ සෙරමික් තුඩු වේ. තඹවලට වඩා සෙරමික් තුඩු වඩා යෝග්‍ය වේ. එයට හේතුව නම් තඹ තුඩු භාවිතයේ දී ක්ෂය වී හැඩය වෙනස් වන නමුත් සෙරමික් තුඩු එසේ නොවන බැවිනි.
විදුලි පාහනයේ රත් වීමේ ප්‍රමාණය එහි ජව අගය මත රඳා පවති. ඒ අනුව 30W, 40W, 60W, 100W ආදී ජව ප්‍රමාණයෙන් යුත් විදුලි පාහන ලබාගත හැකි ය. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික උපාංග එකලස් කිරීම සඳහා 30W හා 40W විදුලි පාහන යෝග්‍ය වේ.
සමහර ඉලෙක්ට්‍රොනික උපාංග පෑස්සීම සඳහා 230V ප්‍රත්‍යවර්ත ධාරාවෙන් ක්‍රියා කරන පාහන සුදුසු නො වේ. ඒ සඳහා සරල ධාරා විදුලියෙන් ක්‍රියා කරන විදුලි පාහන භාවිත කළ යුතු වේ.

ඊයම් උරවනය (De Soldering Pump)
පාස්සන ලද ස්ථානයක ඇති ඊයම්, විදුලි පාහනය මගින් ද්‍රව කොට ඉවත් කිරීමට මෙම උපකරණය භාවිත කරයි. මෙම උපකරණය භාවිත කිරීමෙන් පෑස්සූ උපාංගයට හා පරිපථ පුවරුවට හානියක් නො වන ලෙස උපාංග ගලවා ඉවත් කළ හැකි ය.

පෑස්සීම
මෘදු පෑස්සීමේ දී ප්‍රථමයෙන් පාස්සනු ලබන ස්ථානය හෝ වයර පිරිසිදු කර ගත යුතු ය. තෙල්, මල, දූවිලි ආදිය ඇත්නම් ඒවා ඉවත් කර ගත යුතු වේ. 
පෑස්සුම් ඊයම් ස්වල්පයක් රත් වූ පාහන තුඩට ගෙන පෑස්සිය යුතු ස්ථානයට තබන්න. අනතුරු ව පෑස්සිය යුතු ස්ථානයේ හොඳින් රත් වූ පාහන තුඩ තබා ඊයම් ද්‍රව වන උෂ්ණත්වයට ඉහළ ගිය වහාම පෑස්සුම් ඊයම් පෑස්සුම් තුඩට ස්පර්ශවන සේ තැබිය යුතු ය. එවිට පෑස්සුම් ද්‍රව්‍ය ක්ෂණික ද්‍රව වී අවශ්‍ය ස්ථානයේ ගලා යයි. ඒ විගස ම ඊයම් කම්බිය ඉවත් කොට තවත් මොහොතකින් පාහන තුඩ ද ඉවතට ගත යුතු වේ. එවිට මනාව පෑස්සුම් ක්‍රියාවලියක් සිදු කර ගත හැකි ය. විදුලි පාහනය හා ස්ථානය හොඳින් රත් නොවීමෙන් වියළි පෑස්සුමක් (Dry joint) ලැබෙන අතර එය ශක්තිමත් නො වේ. පාස්සන ක්‍රියා පිළිවෙළ  රූපයේ දක්වා ඇත.

නිවැරදිව පාස්සන ආකාරය