Sunday, December 29, 2019

බීජ සුප්තතාව සහ එය මඟහැරීම

බීජ සුප්තතාව
පරිණත සජීවී බීජයකට ප්‍රරෝහණයට අවශ්‍ය තෙතමනය, උෂ්ණත්වය, ඔක්සිජන් වැනි සාධක ලබා දුන්න ද ජීව්‍යතාවෙන් යුතු බීජ ප්‍රරෝහණය නොවීම බීජ සුප්තතාව ලෙස හැඳින්වේ.

බීජ සුප්තතාවෙහි වැදගත්කම්

  • අධික වර්ෂා කාලවල දී මේරූ බීජ ඵල තුළ ම ප්‍රරෝහණය වීම වැළකීම
  • අහිතකර කාල මග හරවා ඉදිරි කාලවල සිටුවීමට ගබඩා කර තබා ගත හැකි වීම
  • සිටු වීම සඳහා යෝග්‍ය බීජ දුර බැහැර ප්‍රදේශවලට ද ප්‍රවාහනය කිරීමට හැකි වීම
  • අනාගත ප්‍රයෝජනය සඳහා සංරක්ෂණය කර තබා ගත හැකි වීම (බීජ අභිජනන ක්‍රියාවලිය සඳහා පසු කාලීන ව අවශ්‍ය බීජ ගබඩා කර තබා ගත හැකි ය)

බීජ සුප්තතවෙහි අවාසි
සුප්ත ව පවතින බීජ කිසිදු ප්‍රතිකාරයක් නොකර ක්ෂේත්‍රයේ සිටුවීම කළ හොත් වගාවේ පාළු ඇති වීම, වරින් වර පැළ හට ගැනීම නිසා ඒකාකාර වගාවක් නොලැබීම වැනි අවාසිදායක තත්ත්ව ඇති වේ. එලෙස ම වල් පැළෑටි බීජවල සුප්තතාව කෘෂිකාර්මික ව ඉතාමත් අවාසිදායක තත්ව ගෙන එයි. මේ නිසා ක්ෂේත්‍රයේ වල් මර්දනය කළ ද, සුප්ත වූ වල් බීජ මගින් පසු කාලීන ව නැවත වල් පැළ මතු වේ.

සුප්තතාවෙහි ආකාර
සුප්තතාව පහත අයුරු ප්‍රධාන ආකාර 3කට වර්ගීකරණය කළ හැකි ය.

1. ප්‍රේරිත සුප්තතාව (induced dormancy)
බොහෝ විට ශාකයේ වර්ධක කොටස්වල දක්නට ඇත. ශාකයක අග්‍රස්ථ ප්‍රමුඛතාව නිසා පාර්ශ්වික අංකුර වර්ධනය අඩු වීම ප්‍රේරිත සුප්තතාවකි.

2. පැවරූ සුප්තාව (imposed dormancy)
බීජ ප්‍රරෝහණයට අවශ්‍ය තත්ව ලබා නොදීම නිසා බීජ ප්‍රරෝහණය නොවීම පැවරූ සුප්තතාව වේ. පරිසරයෙන් ප්‍රරෝහණයට ඇති වන බාධා ඉවත් කළ විට මෙම සුප්තතාව බිඳී යයි.

3. සහජ/සත්‍ය සුප්තතාව (true dormancy)
බීජවල ස්වභාව ධර්මය විසින් ලබා දී ඇති කාල තරණ සත්‍ය සුප්තතාවට අයත් වේ.
සහජ සුප්තතාව පහත ආකාරයට නැවතත් වර්ගීකරණය කළ හැකි ය.

  • භෞතික සුප්තතාව - 

භෞතික බාධකයක් (තද පොත්ත) නිසා කලලයේ වර්ධනයට අවශ්‍ය ජලය හා ඔක්සිජන් නොලැබීම නිසා ඇති වන සුප්තතාව භෞතික සුප්තතාව වේ.

  • රසායනික සුප්තතාව - 

වර්ධක නිෂේධක හා හෝර්මෝන වැනි රසායනික ද්‍රව්‍ය හේතු කොට ගෙන බීජ සුප්ත වීම රසායනික සුප්තතාව වේ.

  • රූපානු විද්‍යාත්මක සුප්තතාව - 

කලලය රූපානු විද්‍යාත්මක ව හෝ කායික විද්‍යාත්මක ව පරිණත නොවීම නිසා ඇති වන සුප්තතාව යි.

සුප්තතාව ඇතිවීමට හේතු
1. බීජාවරණයේ ලක්ෂණ
(අ) ඝනකම් බීජාවරණය
මෙහි දී කලලය තුළට ජලය, වාතය විසරණයට බාධා ඇති වීමෙන් කලලයේ වර්ධනයට බාධා ඇති විය හැකි ය. 
උදා: අඹ, තේක්ක, ලූණු මිදෙල්ල වැනි බීජ
(ආ) දිලිසෙන බීජාවරණය
මෙහිදී බීජාවරණයේ දිලිසීම හේතුවෙන් ජලය හා ගැටීම වැළකීම නිසා බීජය තුළට ජලය ඇතුල් නොවේ. එවිට කලලයේ වැඩීමට බාධා ඇති වේ. උදා: ඇකේසියා, සියඹලා, මදටිය

2. බීජාවරණයේ හෝ බීජයේ විවිධ කොටස්වල ඇති රසායනික ද්‍රව්‍යවල ස්වභාවය
සමහර බීජවල බීජාවරණයේ හෝ බීජ තුළ කුමරන්, කැෆලින් අම්ලය වැනි වර්ධක නිෂේධක අඩංගු වේ. එවිට බීජ ප්‍රරෝහණය සිදු නොවේ. උදා: වැල්දොඩම්, ගස් ලබු, තක්කාලි

3. අල්ප විකසිත කලලය
මෙහි දී බීජය පරිණත ව පැවතුණ ද කලලය නිසි ලෙස පරිණත ව නොපවතී. එවැනි බීජ සිටුවූ විට කලලය පරිණත වන තුරු ප්‍රරෝහණය වීම සිදු නොවේ.
උදා: පොල්, තල්

4. අක්‍රිය කලලය
මෙහි දී බීජ පරිණත ව පැවතුණ ද කලලය අක්‍රිය ව පවතින බැවින් ප්‍රරෝහණය නොවේ.
උදා: වී බීජ

5. ආලෝක සංවේදී වීම
බොහොමයක් බීජ ආලෝකයට උදාසීන වුව ද සමහර බීජ ප්‍රරෝහණයට ආලෝකය අවශ්‍ය වේ. ආලෝක සංවේදී බීජ ආලෝකය (විශේෂයෙන් රතු ආලෝකය) නොමැති විට සුප්ත ව පවතී. 
උදා: සලාද බීජ

බීජවල සහජ සුප්තතාව ඉවත් කළ හැකි ක්‍රම

1. බීජාවරණය ඉවත් කිරීම හෝ කැපීම
ඝනකම් බීජාවරණ පවතින බීජවල බීජාවරණය කැපීම හෝ ඉවත් කිරීම මගින් ජලය සහ වාතය විසරණයට පවතින බාධකය ඉවත් වීම නිසා ප්‍රරෝහණය වේ. මෙහි දී කලලය හසු නොවන ආකාරයට බීජාවරණයේ කොටසක් ඉවත් කළ යුතු ය.
උදා : බීජාවරණය පිපිරවීම       - කරවිල
         බීජාවරණය ඉවත් කිරීම  - අඹ

2. බීජාවරණය සීරීම
දිලිසෙන බීජාවරණ පවතින බීජවල බීජාවරණය වැලි කඩදාසියකින් සීරීමෙන් දිලිසෙන ස්වභාවය ඉවත් වී ජලයට, වාතයට පාරගම්‍ය වේ. එමගින් බීජ ප්‍රරෝහණය වේ.
උදා: සියඹලා බීජ, දඹල බීජ

3. බීජාවරණය පිළිස්සීම
තේක්ක, ලුණු මිදෙල්ල වැනි බීජවල ඝනකම් බීජාවරණය මඳ වශයෙන් පිළිස්සීමෙන් ජලයට පාරගම්‍ය වී බීජ ප්‍රරෝහණය වේ.

4. වැඩි උෂ්ණත්වයක තැබීම හෝ උෂ්ණත්වය වෙනස් කිරීම
සමහර බීජ මාරුවෙන් මාරුවට අඩු හෝ වැඩි උෂ්ණත්වවලට භාජනය කිරීමෙන් සුප්තතාව ඉවත් කළ හැකි ය.

5. උණු ජල ප්‍රතිකාර කිරීම
දිලිසෙන බීජාවරණය පවතින බීජ උණු (45 - 50०C) ජලයේ ඉතා සුළු කාලයක් ගිල්වීමෙන් බීජාවරණය පිපිරී ජලයට හා වාතයට පාරගම්‍ය වීම නිසා ප්‍රරෝහණය වේ. ජලයේ උෂ්ණත්වය හා ගිල්වා තබන කාලය බීජ විශේෂය අනුව වෙනස් වේ.
උදා: ඇකේෂියා, ඉපිල් ඉපිල්, ඇහැළ

6 රසායනික ද්‍රව්‍ය යෙදීම
(i) 0.2%පොටෑසියම් නයිටේ්‍රට් ද්‍රාවණයක ගිල්වීම. 
    උදා: වී, කුරක්කන්, තක්කාලි
(ii) තනුක සල්ෆියුරික් අම්ලයේ මිනිත්තු 5-15 අතර ගිල්වීම
මේවා මගින් ඝනකම් බීජාවරණ මෘදු කර ගැනීමෙන් කලල සක්‍රිය කිරීමක් සිදු කළ හැකි ය. 
    උදා: තිරිඟු

7. ආලෝකය ලබා දීම
සලාද වැනි බීජවලට රතු ආලෝකය ලබා දීමෙන් ප්‍රරෝහණය උත්තේජනය කර ගත හැකි ය. මිලි මයික්‍රෝන 660 තරංග ආයාමයෙන් යුතු ආලෝකය සලාද බීජවල ප්‍රරෝහණයට ඉතා සුදුසු බව සොයා ගෙන ඇත.

8. ස්තරීභවනය (stratification)
මෙහි දී බීජ සහ තෙත වැලි ස්තර ලෙස ගබඩා කර තබයි. මෙහි දී බීජ ගබඩා කර තබන කාලය සුප්තතාවෙහි ප්‍රමාණය අනුව වෙනස් වේ. බීජ අඩු හෝ වැඩි උෂ්ණත්වයකට භාජනය කිරීමෙන් ද සුප්තතාව බිඳිය හැකි ය. කලල සුප්තතාව ඉවත් කිරීමට මෙම ක්‍රමය භාවිත කරයි.
උදා: රාබු, සලාද 20०C හි පැය 16 ක් තබා 30०C උෂ්ණත්වයෙහි පැය 8 ක් තැබීමෙන් සුප්තතාව බිඳිය හැකි ය.

9. නිෂේධක ද්‍රව්‍ය සෝදා ඉවත් කිරීම
බීජාවරණයේ නිෂේධක රසායනික ද්‍රව්‍ය පවතින විට ඒවා අළු හෝ වැලි සමග මිශ්‍ර කර පොඩි කර ජලයෙන් සෝදා හැරිම කළ හැකි ය. 
උදා: පැපොල්, වැල් දොඩම්, තක්කාලි

0 comments:

Post a Comment