Sunday, December 1, 2019

පස


පසක් යනු 
පසක් යනු ඛනිජ, කාබනික ද්‍රව්‍ය, විවිධ ජීවී ආකාර, වාතය හා ජලයෙන් සමන්විත, පෘථිවිය මතුපිට පිහිටා ඇති ගොඩබිම ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් සපයන, ගතික වූ දේහයකි.

පස නිර්මාණය වීම
විවිධ සාධක හේතුවෙන් පාෂාණ ජීර්ණය වී පාංශු මාතෘ ද්‍රව්‍ය ලබා දෙන අතර, එම පාංශු මාතෘ ද්‍රව්‍ය තවදුරටත් ජීර්ණය වීම හා ව්‍යුහාත්මක ඒකක ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස පස නිර්මාණය වේ.



ඒ අනුව, පසක් නිර්මාණය වීම පියවර 2 කින් සිදු වේ. එනම්,

1. පාෂාණ ජීර්ණය 
2. පාංශු ජනනය


පාංශු සංඝටක

පස ප්‍රධාන වශයෙන් සංඝටක හතරකින් සමන්විත වේ.
1. පාංශු ඝන ද්‍රව්‍ය
2. පාංශු වාතය
3. පාංශු ජලය
4. පාංශු ජීවීන්


පාංශු ඝන ද්‍රව්‍ය

මේ යටතට

  • පාංශු ඛනිජ/ අකාබනික ද්‍රව්‍ය
  • පාංශු කාබනික ද්‍රව්‍ය 

අයත් වේ.


පාංශු ඛනිජ


පාංශු ඛනිජයක් යනු නිශ්චිත රසායනික සංයුතියක් සහිත සමජාතීය අකාබනික ද්‍රව්‍ය වේ.
පසේ ඛනිජ ද්‍රව්‍ය හෙවත් අකාබනික ද්‍රව්‍ය වැලි, රොන් මඩ හා මැටි යන ප්‍රාථමික අංශූන්ගෙන් සමන්විත ය. මෙම ඛනිජ පසට ලැබෙන්නේ පාෂාණ හා පාංශු මාතෘ ද්‍රව්‍ය ජීරණය වීමෙනි. බොහෝ විට පාෂාණ ජීර්ණය වී ඉතිරි වන අවශේෂ ලෙස මැටි, වැලි හා රොන් මඩ දැක්විය
හැකි ය. වැලි හා රොන් මඩ පසේ භෞතික ගුණාංග කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපායි. 
උදා:
ජලය රඳවා ගැනීමේ හැකියාව. නමුත් මේවා පසේ රසායනික ලක්ෂණ කෙරෙහි දක්වන බලපෑම අල්ප ය.


පසේ වූ සියලු ම ඛනිජ පහත පරිදි වර්ගීකරණය කළ හැකි ය.



ප්‍රාථමික ඛනිජ


ද්‍රව මැග්මා සිසිල් වී ඝනීභවනය වීමේ දී සෑදෙන ආග්නේය පාෂාණවල අන්තර්ගත වන, ආග්නේය පාෂාණ ජීර්ණය වීමෙන් පසට ලැබෙන ඛනිජ ප්‍රාථමික ඛනිජ ලෙස හැඳින් වේ.
පසේ වැලි කොටසේ බහුල වශයෙන් අන්තර්ගත වන්නේ ප්‍රාථමික ඛනිජ යි. ඒවා තවදුරටත් ජීර්ණයට ප්‍රතිරෝධී දෘඪභාවයෙන් වැඩි ඛනිජ යි. පසේ බහුලව ම පවතින ප්‍රාථමික ඛනිජ වන්නේ ක්වෝට්ස් සහ පෙල්ස්පාර් ය. ඒවායේ සංයුතිය තුළ වැඩිපුර ම  Si අඩංගු වන නිසා සිලිකේට්
ඛනිජ ලෙස හඳුන්ව යි.

ද්විතීයික ඛනිජ


යම්කිසි ද්‍රාවණයක වූ සංයෝගයන් අවක්ෂේප වීමෙන් හෝ අවසාදනය වීමෙන්, නැතහොත් ඛනිජ පුනර්ස්ඵටිකීකරණය වීමෙන් සෑදෙන්නා වූ ඛනිජ ද්විතීයික ඛනිජ ලෙස හැඳින් වේ. එනම් ද්විතීයික ඛනිජ ලෙස හඳුන්වන්නේ අවසාදිත හෝ විපරිත පාෂාණවල තිබී ඒවා ජීර්ණය වීමෙන්
පසට ලැබෙන්නා වූ ඛනිජයන් ය.

පාංශු කාබනික ද්‍රව්‍


කාබනික ද්‍රව්‍ය, ක්ෂුද්‍ර ජීවීන් මගින් පසට එකතුවන ශාක හා සත්ව අපද්‍රව්‍ය ජීර්ණය වීමෙන් සහ රසායනික ව වෙනස් වීමෙන් සෑදෙන විෂමාකාර මිශ්‍රණයකි. 
එම මිශ්‍රණයේ පසට අලුතින් එකතුවන ශාක හා සත්ව කොටස්, ජීර්ණය වෙමින් පවතින ද්‍රව්‍ය, ජීර්ණය වූ කාබනික ද්‍රව්‍ය අඩංගු වේ. පසට එකතුවන විවිධ කාබනික ද්‍රව්‍ය පසේ දී වියෝජනය වේ. පසේ තෙතමනය ඇත්නම්, පාංශු ක්ෂුද්‍ර ජීවීන් සිටී නම් හා සුදුසු උෂ්ණත්වය පවතී නම් කාබනික ද්‍රව්‍ය වියෝජනය කාර්යක්ෂමව සිදු වේ. කාබනික ද්‍රව්‍ය (ශාක හා සත්ව කොටස්) වියෝජනයේ දී එහි මූලික ස්වරූපය වෙනස් වී තරමක් ස්ථාවර වූ හියුමස් බවට පත් වේ. හියුමස් යනු තද පැහැති, සැහැල්ලු අස්ඵටිකරූපී, නියත ව්‍යුහයක් රහිත ද්‍රව්‍යයකි.


කාබනික ද්‍රව්‍යවල වැදගත්කම

1. ශාක පෝෂක සැපයීම
ශාකවල පෝෂක සුලභතාව කෙරෙහි කාබනික ද්‍රව්‍ය වක‍්‍ර හා ඍජු බලපෑමක් දක්වයි. හියුමස්වල පෘෂ්ටය ඍණ ආරෝපිත ය. එමගින් ධන අයන අධිශෝෂණය කර තබා ගැනීමේ හැකියාව ලැබේ. එනම්, හියුමස් පස තුළ පෝෂක සංචායකයක් ලෙස ක‍්‍රියා කරයි. නයිට‍්‍රජන්, පොස්පරස් හා සල්පර් යන පෝෂක සඳහා සංචිතයක් ලෙස ක‍්‍රියා කිරීමට අමතර ව ශාකවලට ආධාරවන ප‍්‍රභවයන් සඳහා පෝෂණය සපයයි. උදා : නයිට‍්‍රජන් තිර කරන බැක්ටීරියා සඳහා කාබනික ද්‍රව්‍ය සැපයීම හා ශක්ති ප‍්‍රභවයක් ලෙස ක‍්‍රියා කරයි.

2. පසේ භෞතික තත්වය, පාංශු ඛාදනය, ස්වාරක්ෂකතාව හා කැටායන        හුවමාරුව කෙරෙහි ඇති බලපෑම
පස්වල ව්‍යූහය සැකසීම කෙරෙහි හියුමස් බලපායි. බිම් සැකසීමේ දී පසේ ව්‍යුහය බිඳ වැටීම් සිදු විය හැකි අතර කාබනික ද්‍රව්‍ය පසට එක් කිරීම මගින් එය වැළැක් වේ. පසේ වාතනය, ජලය රඳවා ගැනීමේ ධාරිතාව, පාරගම්‍යතාව ආදී සියලූ ලක්ෂණ හා ක‍්‍රියාවලි හියුමස්වලින් වැඩි කරයි. කාබනික ද්‍රව්‍ය පසට එක් කිරීම මගින් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය සෑදී ඒ මගින් පාංශු අංශු බැඳී සමූහන සෑදී පසේ ව්‍යුහය දියුණු කරයි. මෙම සමූහන මගින් පස බුරුල්, විවෘත හා කණිකාමය තත්වයක් ඇති කරයි. ජලය පස තුළට ඇතු`ඵ වී කාන්දු වී පස තුළින් වෑස්සීම ඇති කරයි. හියුමස් අංශුවකට එහි ස්කන්ධය මෙන් කීප ගුණයක ජල ප‍්‍රමාණයක් අවශෝෂණය කර ගත හැකි ය. එබැවින් පසේ ජල අවශෝෂණ ධාරිතාව වැඩි කරයි. ශාකවල මූල පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් සැපයුම සිදු වන නිසා ශාක වර්ධනය වේගවත් වේ. පසේ වාත අවකාශවල වායු හුවමාරුව සිදු වන නිසා ද ශාක වර්ධනය හිතකර තත්ව ඇති කරයි.
පසේ කැටායන හුවමාරුවෙන් 20%- 70% ක් පමණ කලිලමය හියුමස්වලින් සිදු වේ. හියුමස්වල කැටායන හුවමාරු ධාරිතාව 100-300 meq/පස් 100g ක පමණ වේ. හියුමස්වලට විශාල pHය පරාසයක් සඳහා ස්වාරක්ෂක තත්වයක් ඇති කළ හැකි ය. තවද, පසට එකතු වන විවිධ විෂ සහිත අයන (Cd, Pb) අවශෝෂණය කර ඒවායින් ශාකවලට ඇති වන අහිතකර බලපෑම් වැළැක්වීමට දායක වේ. භූලත ජල දූෂණය ද වැළැක්වේ.

3. ජෛවීය තත්ව සඳහා බලපෑම්
ක්ෂුද්‍ර ජීවීන් සඳහා කාබනික ද්‍රව්‍ය ශක්ති ප‍්‍රභවයක් ලෙස ක‍්‍රියා කරයි. පසේ ඇති බැක්ටීරියා, ඇක්ටිනෝමයිසිටිස් දිලීර ගහනය, පසේ ඇති කාබනික ද්‍රව්‍ය ප‍්‍රමාණය මත තීරණය වේ. පසේ ඇති කාබනික ද්‍රව්‍ය මගින් ශාකවල වර්ධනය සඳහා ඍජු කායික විද්‍යාත්මක බලපෑමක් ඇති කරයි. උදාහරණ ලෙස සමහර ෆීනෝලික අම්ලවලින් චයහඑදඑදංසජ ගුණාංග ඇති කරයි.
නමුත් පසේ සිටින රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය සඳහා පසේ කාබනික ද්‍රව්‍ය
ප‍්ර මාණය ඍජු ව හෝ වක‍්‍ර ව බලපාන බව සොයා ගෙන ඇත. මනා කාබනික ද්‍රව්‍ය සැපයුමක් මගින් පරපෝෂිත ක්ෂුද්‍ර ජීවීන්ට වඩා මෘතෝපජීවී ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය සඳහා සුදුසු පරිසර තත්වයක් සපයන නිසා පසුව පරපෝෂිත ක්ෂුද්‍ර ජීවීන්ගේ ගහනය අඩු වේ. පසේ තිබෙන ජීව විද්‍යාත්මක ව ක‍්‍රියාකාරී සංයෝග මගින් (උදා : ප‍්‍රතිජීවක හා සමහර ෆිනෝලික අම්ල) රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් සඳහා ප‍්‍රතිරෝධයක් ඇති කරයි.


පාංශු ජීවීන්
පාංශු ජීවීන් වර්ගීකරණය
පාංශු ජීවීන් විවිධ ආකාරයට වර්ගීකරණය කළ හැකි ය.



ප‍්‍රමාණය (ශරීරයේ පළල) අනුව පාංශු ජීවීන් වර්ගීකරණය

මහා ජීවීන් 
පස තුළ වෙසෙන, ශරීරයේ පළල 2mm ට වඩා විශාල, එනම් පියවි ඇසට පෙනෙන ජීවීන් වේ.
උදා: 

  • හරිත ශාක 
  • සත්ත්වයන් : පෘෂ්ඨ වංශීන් (මීයන්, උරගයන්)
  • ආත‍්‍රපෝඩාවන් (කුරුමිණියන්, කුහුඹුවන්)
  • ඇනලීඩාවන් (ගැඩවිලුන්)
  • මොලූස්කාවන් (ගොළුබෙල්ලන්, හංගොල්ලන් )


මජ්ජා ජීවීන්
පස තුළ වෙසෙන, ශරීරයේ පළල 0.2 - 2 mm  අතර ජීවීන් වේ.
උදා: 

  • ශාක: ලයිකන
  • සත්වයන්: ආත‍්‍රපෝඩාවන් ( මයිටාවන්, කොලොම්බෝලා)



ක්ෂුද්‍ර ජීවීන් 
පස තුළ වෙසෙන 0.1mm ට වඩා අඩු ශරීර පළලක් සහිත, පියවි ඇසට නොපෙනෙන ජීවීන් වේ.
පාංශු ක්ෂුද්‍ර ජීවීන් නැවතත් පහත අයුරු වර්ගීකරණය කළ හැකි ය.

  • බැක්ටීරියා
  • සයනොබැක්ටීරියා
  • ඇල්ගී
  • දිලීර හා ඇක්ටිනොමයිසිටීස්
  • ප්‍රෝටසෝවා

පාංශු වාතය
පාංශු පරිමාවෙන් කොටසක් පස් අංශු හා අනෙකුත් ඝන ද්‍රව්‍ය අත්පත් කර ගෙන ඇති අතර ඉතිරි කොටස ජීද්‍රාවකාශය ලෙස හැඳින්වේ. පස් අංශු අතර ඇති විශාල අවකාශ මහා අවකාශ ලෙසත් පස් අංශු තුළ ඇති කුඩා (කේශික) අවකාශ ක්ෂුද්‍ර අවකාශ ලෙසත් හැඳින්වේ. මෙම
ජිද්‍රාවකාශ පස ජලයෙන් සංතෘප්ත අවස්ථාවේ ජලයෙන් සම්පූර්ණයෙන් පිරී ඇති අතර ජලය පස් ස්තරවලින් පහළට වහනය වූ පසු එම අවකාශ වාතයෙන් පිරේ. මේ අනුව පාංශු අවකාශ තුළ පිරී ඇති වාතය පාංශු වාතය ලෙස හැඳින්වේ.
සම්මත පසක ප‍්‍රතිශතයක් ලෙස වායු පරිමාව 25% කි. මෙය 5%කට වඩා අඩු වන විට බෝග වගා කළ නොහැකි තත්ත්වයක් ඇති වේ.
පාංශු වාතයේ සංයුතිය වායුගෝලීය වාතයේ සංයුතියට වඩා වෙනස් ය. වායුගෝලීය වාතයේ නයිට‍්‍රජන් 78% ක් අඩංගු අතර ඔක්සිජන් 21% ක් ද, කාබන්ඩයොක්සයිඞ් 0.36% ක් ද අඩංගු ය. නමුත් පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය මීට වඩා වැඩි අතර ඔක්සිජන් ප‍්‍රමාණය අඩු වේ. පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය වැඩි වන්නේ ශාක මුල් හා ක්ෂුද්‍ර ජීවීන් ශ්වසනයෙන් කාබන් ඩයොක්සයිඞ් පිට කරන නිසා ය. පසේ ආර්ද්‍රතාව පසේ තෙතමනය සහිත අවස්ථාවල දී 100% ට ආසන්න වේ. මෙය වායුගෝලීය වාතයට වඩා විශාල වැඩි වීමකි. වායුගෝලීය වාතයේත්, පාංශු වාතයේත් අඩංගු නයිට‍්‍රජන් ප‍්‍රමාණයේ වැඩි වෙනසක් නොමැත.

පාංශු වාතනය
පසේ වාතනය යනුවෙන් අදහස් වන්නේ පාංශු වාතය, වායු ගෝලීය වාතය මගින් ප‍්‍රතිස්ථාපනය වීමයි. එනම් පස තුළ වාතය සංසරණය වීමයි

පාංශු වාතයේ සංයුතියට හා ධාරිතාවට බලපාන සාධක

1. පසේ අඩංගු ජල ප‍්‍රමාණය
පසේ අඩංගු ජල ප‍්‍රමාණය හා වායු ප‍්‍රමාණය අතර ඇත්තේ ප‍්‍රතිලෝම සමානුපාතයකි.

2. පසේ පවතින සිදුරු ප‍්‍රමාණය හෙවත් සවිවරතාව
පසේ විශාල ජිද්‍රාවකාශ ඇති විට මනා ජල වහනයක් හා වාතනයක් දක්වයි. කුඩා ජිද්‍රාවකාශ ඇති විට ජල වහනය හා වාතනය දුර්වල වේ.

3. පසේ වයනය හා ව්‍යුහය
වැලි පසේ මනා වාතනයක් හා ජල වහනයක් ඇති අතර මැටි පසේ දුර්වල ය. දියුණු ව්‍යුහයක් සහිත පසක ද මනා වාතනයක් ඇත.

4. දෘශ්‍ය ඝනත්වය
දෘශ්‍ය ඝනත්වය වැඩි වන විට වායු ධාරිතාව අඩු වේ.

5. පාංශු ගැඹුර
පසේ මතුපිට ස්තරවල වායු ධාරිතාව වැඩි අතර ගැඹුරු ස්තරවල වායු ධාරිතාව අඩු ය.

6. වගා කර ඇති බෝගය
විශාල ලෙස මූල පද්ධතිය පැතිරෙන බෝග වගා කළ පසක අඩංගු ඔක්සිජන් ප‍්‍රමාණය අඩු ය. එසේ වන්නේ මුල් ශ්වසනය කරන බැවිනි.

7. ක්ෂුද්‍ර ජීවී ක‍්‍රියාකාරීත්වය
ක්ෂුද්‍ර ජීවීන් අධික පසෙහි කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ඉහළ යන අතර ඔක්සිජන් ප‍්‍රමාණය අඩු වේ. එසේ වන්නේ ක්ෂුද්‍ර ජීවී ශ්වසනය හා ඛනිජ ඔක්සිකරණය වීම නිසා ය.

8. ඍතුව
වර්ෂා කාලයේ දී ජල වහනය දුර්වල වීම නිසා පසේ ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ. 

පාංශු වාතයේ වැදගත්කම

  • ශාකයේ හා මූල මණ්ඩලයේ වර්ධනයට පාංශු වාතය බලපායි. දුර්වල වාතනයක් යටතේ මූල පද්ධතිවල වර්ධනය දුර්වල වීම නිසා පෝෂක හා ජලය අවශෝෂණය කරන ප‍්‍රමාණය අඩු වේ.
  • ක්ෂුද්‍ර ජීවී ගහනය හා එහි ක‍්‍රියාකාරීත්වයට පාංශු වාතය වැදගත් වේ.
  • පාංශු වාතනය දුර්වල වූ විට ෆෙරස් ඔක්සයිඞ්, හයිඩ‍්‍රජන් සල්ෆයිඞ් වායුව, කාබන් ඩයොක්සයිඞ් වැනි විෂ ද්‍රව්‍ය හා අහිතකර වායු ද සෑදේ. මේවා ශාක වර්ධනයට අහිතකර ලෙස බලපායි.
  • ජලය හා පෝෂක ශාකයට අවශෝෂණය කර ගැනීමට පාංශු වාතය බලපායි. සක‍්‍රීය අවශෝෂණයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා සිදු වන ශ්වසන ක‍්‍රියාවලියට පාංශු වාතය අවශ්‍ය වේ.
  • පාංශු වාතය දුර්වල වූ විට ශාකයේ රෝග ග‍්‍රාහීයතාව වැඩි වේ. මාෂ බෝගවල මැලවීමට හා සිට‍්‍රස් ශාකවල පසු මැරීමට  පාංශු වාතය බලපාන බව සොයා ගෙන ඇත.
  • පසේ වූ බීජ ප‍්‍රරෝහණයට පාංශු වාතය වැදගත් වේ.
  • නිර්වායු තත්ව යටතේ නයිටී‍්‍රහරණ ක‍්‍රියාවලිය සිදු වේ.
  • පාංශු වාතයේ ඔක්සිජන් නැති විට නිර්වායු ජීවීන්ගේ ක‍්‍රියාකාරිත්වය නිසා මීතේන්, හයිඩ‍්‍රජන් සල්ෆයිඞ් වැනි විෂ වයු ඇතිවේ.
  • බිම් සැකසීමේ දී පස බුරුල් කිරීම මගින් පසේ සවිවරතාව වැඩි වන නිසා පසේ වාතනය හා ජල අවශෝෂණ ධාරිතාව වැඩි වේ. එසේ ම ජල වහනය ද ක‍්‍රමවත් වේ.


පාංශු ජලය
පසේ ඇති ජිද්‍රාවකාශ තුළ හා පස් අංශු වටා තදින් බැඳී පවතින ජලය පාංශු ජලය ලෙස හැඳින්වේ.

පාංශු ජලයේ වැදගත්කම
  • පසේ අඩංගු ඛනිජ පෝෂක ශාක ලබා ගන්නේ පාංශු ජලයේ දිය වූ ද්‍රාවණයක් ලෙසිනි.
  • පාංශු ජීර්ණ ක‍්‍රියාවලියේ භෞතික ජීර්ණය සඳහා සහ පාංශු ජනනය සඳහා උපකාරී වේ.
  • පාංශු ජල ප‍්‍රමාණය උචිත අවස්ථාවේ ඇති විට බිම් සැකසීම මගින් බිම් සැකසීමේ කාර්යක්ෂමතාව වැඩි වේ.
  • පසේ භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක ක‍්‍රියාකාරීත්වයන් යාමනය කිරීමට උපකාරී වේ.
  • පසේ වෙසෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ කායික ක‍්‍රියාවලීන් සඳහා අවශ්‍ය වේ.
  • බීජ ප‍්‍රරෝහණයට හා ශාක වර්ධනයට අවශ්‍ය වේ.
  • නියග වැනි තත්ත්වවල දී ශාක රැක ගැනීමට අවශ්‍ය වේ.


පාංශු ජලය වර්ගීකරණය
පාංශු ජලය ආකාර දෙකකට වර්ගීකරණය කෙරේ.

01. භෞතික වර්ගීකරණය
  • ගුරුත්වාකර්ෂණ ජලය
  • කේශාකර්ෂණ ජලය
  • ජලාකර්ෂණ ජලය


02. ජෛව විද්‍යාත්මක වර්ගීකරණය

  • ශාකයට ලබා ගත හැකි ජලය
  • ශාකයට ලබා ගත නොහැකි ජලය

1 comment:

  1. The subject matter of BS T subject is very clear, here it is and thank you very much for that.

    ReplyDelete