Monday, February 10, 2020

සගන්ධ තෙල් නිෂ්පාදනය


සගන්ධ තෙල්
ශාක ද්‍රව්‍යවලින් නිස්සාරණය කරනු ලබන ජලයේ අද්‍රාව්‍ය වාෂ්පශීලි ද්‍රව සගන්ධ තෙල් වශයෙන් හඳුන්වනු ලැබේ. විවිධ සගන්ධ තෙල්වල ඒවාට ම ලාක්ෂණික වූ ගන්ධයක් ඇත. සගන්ධ තෙල් මඟින් ආහාර වර්ග සුවඳවත් කිරීමෙන් ආහාර රුචිය වැඩි වේ. එසේ ම සුවඳ විලවුන් නිපදවීම
සඳහා ද සගන්ධ තෙල් යොදා ගැනේ. අද ලෝකයේ වාණිජ ක්ෂේත‍්‍රය තුළ සුවඳ විලවුන් සහ රසකාරක සඳහා අධික ඉල්ලූමක් පවතී. අතීත කාලයේ රජවරුන් පවා සුවඳ වර්ග ගැල්වූ බව ඉතිහාසයේ සඳහන් වේ.
කුරුඳු, කරාබු, පැඟිරි, කරදමුංගු, වින්ටගි‍්‍රන් වැනි ශාක කොටස්වලින් සගන්ධ තෙල් ලබා ගනී.
ශාකවල සගන්ධ තෙල් අඩංගු වන විශේෂ දේභ කොටස් ඇත.

සගන්ධ තෙල් නිස්සාරණය කර ගන්නා ක‍්‍රම
  • හුමාලය ආසවනය
  • ද්‍රාවක නිස්සාරණය
  • තෙරපීම

හුමාල ආසවනය
සගන්ධය තෙල් බොහෝ වර්ග තාපය නිසා වියෝජනය වීමට හෝ බහුඅවයවීකරණය වීමට ඉඩ තිබේ. එනම් ඉහළ උෂ්ණත්වවලට රත් කිරීම සුදුසු නොවේ. එබැවින් හුමාල ආසවනයට ලක් කර පහළ උෂ්ණත්වවල දී නිස්සාරණය කරනු ලැබේ. සගන්ධ තෙල් අන්තර්ගත ශාක කොටස් හා ජලය සහිත පද්ධතිය රත් කරන විට දී එම පටක හානි වී වාෂ්පශීලි සංයෝග නිදහස් වේ.

සගන්ධ තෙල් අඩංගු ශාක කොටස් ඇති භාජනයට වෙන ම හෝ හුමාල ජනකයක් මඟින් නිපදවන හුමාලය එවනු ලැබේ. මෙසේ වෙනම හෝ හුමාල ජනකයකින් හුමාලය එවන නිසා හුමාලයේ පරිමාමිතික ගැලීම පාලනය කිරීමට හැකි වීම වාසියකි. මෙසේ හුමාලය ශාක කොටස් ඇති භාජනයට පැමිණීම හේතුවෙන්, හුමාලයෙන් ලැබෙන තාපය නිසා ශාක සෛල විනාශ වෙමින් වාෂ්පශීලි සංයෝග නිදහස් වේ. වාෂ්පය ඝනීභවනය වෙමින් යම් ප්‍රමාණයකට ජලවාෂ්ප එහි එකතු වේ. දිගින් දිගට ජලවාෂ්ප පැමිණෙන විට ද්‍රව පෘෂ්ඨයට ඉහළින් ජල වාෂ්පත් සගන්ධ තෙල් වාෂ්පත් යන සංඝටකයන්ගේ වාෂ්ප පීඩන එකතුව වායුගෝලීය පීඩනයට සමාන වන විට පද්ධතිය නැටීමට පටන් ගනී. එවිට ශාක කොටස්වල ඇති සගන්ධ තෙල් ද ජලය සමඟ වාෂ්ප කලාපයට එක් වෙයි.
කෙසේ වෙතත් අඛණ්ඩව ජලවාෂ්ප ධාරාවක් ගැලීම නිසා භාජනයෙන් ඉවතට යන වාෂ්ප ධාරාවේ ජලවාෂ්පත් සගන්ධ තෙල් වාෂ්පත් අන්තර්ගත වේ. මේ වාෂ්ප කොන්ඩෙන්සරයක් තුළින් යවා සිසිලනය කළ විට ආසුතය ජලය හා සගන්ධ තෙල් යන ස්තර දෙකක් වශයෙන් ලැබේ. එය පහසුවෙන් වෙන් කර ගත හැකි වේ.
උදා - 
කුරුඳු ශාකයේ විවිධ කොටස් යොදා ගනිමින් හුමාල ආසවනය මඟින් ලබා ගත් කුරුඳු තෙල්වල අඩංගු ප්‍රධාන සංඝටක පහත පරිදි වේ.
  • පත්‍ර තෙල් - ඉයුජිනෝල්
  • පොතු තෙල් - සිනමැල්ඩිහයිඞ්
  • මුලෙහි තෙල් - කැම්පර්
පැඟිරි තෙල්වල අඩංගු ප්‍රධාන තෙල් සංඝටකය - ජෙරනියොල්


ද්‍රාවක මඟින් නිස්සාරණය
මෙහි මූලධර්මය නම් සගන්ධ තෙල් වඩා අධිකව ද්‍රාව්‍ය වන ද්‍රාවකයක දිය කර ගැනීමයි. සගන්ධ තෙල්හි ජලයෙහි ද්‍රාව්‍යතාව ඉතා අඩු නමුත් කාබනික ද්‍රාවකවල (උදා: පෙට්‍රෝලියම් ඊතර්, ක්ලෝරෆෝම්, ටොලුයීන්, එතනෝල්) වඩා පහසුවෙන් අධිකව ද්‍රාව්‍යය වේ.
ශාක කොටස් මෙවැනි ද්‍රාවකයක් සමඟ සෙලවූ විට සගන්ධ තෙල්වලින් වැඩි කොටසක් ද්‍රාවකය තුළට ගමන් කරයි. මේ ද්‍රාවකය වාෂ්ප කිරීමෙන් හෝ වෙන යම් ක්‍රමයකින් ඉවත් කිරීමෙන් සගන්ධ තෙල් ලබා ගත හැකි ය.

තෙරපීම
සුදුසු පීඩනයක් ශාක කොටස් මත යෙදීමෙන් ඒවායේ අඩංගු වාෂ්පශීලි තෙල් ලබා ගත හැකි ය. මෙහි දී වෙනත් අධිශෝෂක ද්‍රව්‍යයක් සහිතව තෙරපීම සිදු කිරීමෙන් සගන්ධ තෙල් ඒ ද්‍රව්‍ය මතට  අධිශෝෂණය වේ. 
උදා: ඉටි ආලේපිත වීදුරු තහඩු දෙකක් අතර ශාක කොටස් තබා තෙරපීමෙන් ඒවායේ සගන්ධ තෙල් ඉටිවලට අධිශෝෂණය වේ. 
පසුව වෙනත් ද්‍රාවකයක් (ඊතර්) යොදා ගෙන අධිශෝෂකයෙන් සගන්ධ තෙල් නිස්සාරණය කර ගනී. තෙරපුම් ක්‍රමය කාලාතුරකින් පමණක් භාවිත කෙරේ. ඊට හේතු වන්නේ,
  • ලැබෙන ඵල ප්‍රමාණය අඩු වීම
  • තෙල් වෙනත් කාබනික ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වීමත් නිසා ය.

කරදමුංගු බීජ මඟින් තෙල් නිස්සාරණයේ දී තෙරපුම් ක්‍රමය ද යොදා ගැනේ. කුරුඳු තෙල් ප්‍රධාන වශයෙන් නිස්සාරණය කරන්නේ අම්බලන්ගොඩ, හික්කඩුව සහ බද්දේගම වැනි ප්‍රදේශවල ය. මෙහි දී පළමුව කුරුඳු පත්‍ර සෙවණ ඇති ස්ථානයක දින දෙක - තුනක් පමණ පවනේ වේළණු ලැබේ. පවනේ වේළූ කුරුඳු පත්‍ර යොදා ගන්නේ අලුත් පත්‍රවලට වඩා ඒවායින් තෙල් නිස්සාරණය පහසු නිසා ය. එවිට පත්‍රවල උච්චර්ම කැඩී යෑමෙන් ආසවනයේ දී පහසුවෙන් සගන්ධ තෙල් ඉවත් කර ගත හැකි ය. වඩාත් සුදුසු වන්නේ ළපටි හෝ ඉතා මේරූ පත්‍ර නොව, මැදි වයසේ පත්‍ර බව සොයා ගෙන ඇත. කලකට පෙර ආසවනය සඳහා තඹ බොයිලේරු භාවිත කළත් තෙල්වල අඩංගු ඉයුජිනෝල් තඹ සමග ප්‍රතික්‍රියා වීමෙන් තෙල්වලට අඳුරු වර්ණයක් ලැබේ. ඒ නිසා වර්තමානයේ තඹ වෙනුවට මල නොබැඳෙන වානේ හෝ ඇලුමිනියම් භාවිතයට ගැනේ. පැඟිරි සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ය. ප්‍රධාන පැඟිරි වර්ග 3කි.
1. හීන් පැඟිරි 
2. ලේන බටු
3. මහ පැඟිරි 
මෙයින් පළමු දෙවර්ගය ශ්‍රී ලංකාවට ආවේණික වන අතර මහ පැඟිරි පිලිපීනයෙන් හඳුන්වා දෙන ලද්දකි. ජෙරනියොල් නමින් හැඳින්වෙන සංයෝගයෙහි පැවැත්ම අනුව පැඟිරි තෙල්වල අගය රඳා පවති. ජෙරනියෝල් යනු අසන්තෘප්ත ඇලිෆැටික මධ්‍යසාරයකි. මහ පැඟිරිවල අධිකව ජෙරනියෝල් අඩංගු වන බැවින් එයට වැඩි ඉල්ලුමක් තිබේ.








1 comment: