Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Monday, November 25, 2019

පස ජීවාණුහරණය කිරීම


පාංශු ජීවාණුහරණ ක්‍රම පිළිබදව දැනුම ඉතා වැදගත්. වගාවකදී වගේම තවාන් පාලනයේදීත් අපි විවිධ ජීවාණුහරණ ක්‍රම යොදා ගන්නවා. ඉතින් මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ පාංශු ජීවාණුහරණ ක්‍රම ගැන සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ දෙකක්ම දෙන්න. බලලා දැනුම ලබාගන්න.




ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය - Automated Weather Station - AWS

ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය
ස්වයංක්‍රීයව කාලගුණික දත්ත ලබා ගැනීමටත් ඒවා නිශ්චිත ස්ථානයකට සම්ප්‍රේශනය කිරීමටත් හැකි වන පරිදි කාලගුණයෙන් බාධා නොවන සේ (Weather Proof) ආවරණය කරන ලද,
දත්ත එකතුකරණයක් (Data logger)
පුනරාරෝපණය කළ හැකි බැටරියක් (Rechargeable battery)
සංවේදක (Sensors)
යන අංග වලින් සමන්විත ඇටවුමක්, ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක් ලෙස හදුන්වයි.



මෙම මධ්‍යස්ථාන සදහා විදුලි බලය සපයන්නේ සූර්ය ශක්තිය හෝ සුළං බලයෙනි. සූර්යාලෝකය අඩු කාලවල දී සුළං බලය ප්‍රයෝජනයට ගන්නා අතර සමහර අවස්ථාවල රැහැන් මගින් විදුලි බලය ලබා ගනියි.
සූර්ය කෝෂ හා සුළං ටර්බයින හරහා පුනරාරෝපණය කළ හැකි බැටරි වලට සම්බන්ධ ව පවතී.
දත්ත එකතුකරනය මෙම කාලගුණ මධ්‍යස්ථානයේ හදවත බදු ය. එමගින් සංවේදකවලතොරතුරු එකතු කර ගැනීමත්, එකතු කර ගත් දත්ත සකස් කිරීම හා ගණනය කිරීමත් සිදු කරයි. එමෙන් ම, දත්ත ගබඩා කිරීම, අවශ්‍ය අවස්ථාවල දී දත්ත විවිධ මාධ්‍යයන් ඔස්සේ ලබා දීම සිදු කරයි.
ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක සියලු ම කාලගුණ උපකරණ කුඹගස (කුළුනකට) සවිකර ඇත. කුඹගසෙහි උස විවිධ අවශ්‍යතා මත 2,3,10m සහ 30m යන උසවලින් සවි කරනු ලබයි. 


  • මිනිසාට බලපෑම් ඇති කරන කාලගුණික දත්ත ලබා ගැනීමට 2m ක් උසින් කුළුන පිහිටුවයි.
  • බෝගවලට හානි කරන කාලගුණික දත්ත ලබා ගැනීමට 3m ක් උසින් කුළුණ පිහිටුවයි.
  • ගස්, ගොඩනැගිලි ආදී බාධකවලින් තොර ව දත්ත ලබා ගැනීමට අවශ්‍ය වූ විට 10m ක් උසින් පිහිටුවයි.
  • විශාල පරාසයක කාලගුණික දත්ත ලබා ගැනීමට අවශ්‍ය්‍ය වූ විට 30m ක් උසින් කුළුණ පිහිටුවයි.


මෙම මධ්‍යස්ථානවල කාලගුණික දත්ත ලබා ගැනීම සදහා සංවේදක සහිත පහත සඳහන් උපකරණ භාවිත කරනු ලැබේ.  
● උෂ්ණත්වමානය
● සුළං දිශා දර්ශකය
● අනිලමානය
● ආර්ද්‍රතාමානය
● වායු පීඩනමාන
● වළාකුළුවල උස මැනීම සදහා Ceilometer
● වර්ෂාමාන / වර්ෂණ ආකාර මනින උපකරණ
● සූර්ය විකිරණතාව මනින උපකරණ (Pyranometer)

සාම්ප්‍රදායික කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන වෙනුවට ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථාන භාවිතයේ වාසි 

  • සියලු ම කාලගුණික දත්ත අවශ්‍ය වේලාවට නිවසේ/ කාර්යාලයේ සිට ම ලබා ගත හැකි ය.
  • නිතිපතා සිදු කළ යුතු නඩත්තු කිරීම් ස්වයංක්‍රිය ව සිදු වේ. උදා - වර්ෂාමාන හිස් වීම
  • කාලගුණික දත්තවල උපරිම හා අවම අගයන් මෙන් ම මාසික, වාර්ෂිකව දත්ත අවශ්‍ය විට ස්වයංක්‍රීය ව ලබා දේ.
  • දිනක් තුළ කාලගුණික දත්ත වෙනස් වීම ස්වයංක්‍රීය ව ලබා දේ. උදා- සුළං වේගය වෙනස් වීම හා දිශාව
  • දත්ත ස්වයංක්‍රීය ව එකතු කිරීම හා ඇගයීම සිදු කරයි.
  • ඕනෑ ම දුරක සිට කාලගුණික මධ්‍යස්ථානයේ තොරතුරු අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ය.
  • කම්කරු ශ්‍රමයක් අවශ්‍ය නැත.
  • ඉතා දුෂ්කර පරිසරයක වුව ද ස්ථානගත කර අවශ්‍ය දත්ත ලබා ගත හැකි ය.



Saturday, November 23, 2019

කාලගුණික මධ්‍යස්ථානය

කාලගුණික මධ්‍යස්ථානය
කාලගුණික දත්ත වාර්තා කිරීම සදහා උපකරණ පිහිටුවා ඇති ස්ථානයක්, කාලගුණික මධ්‍යස්ථානයක් ලෙස හදුන්වයි.


කාලගුණික මධ්‍යස්ථානයක් පිහිටුවීමේදී සැලකිළිමත් විය යුතු කරුණු


  • මේ සඳහා තෝරා ගන්නා භූමිය ප්‍රදේශය නියෝජනය වන්නක් විය යුතු ය. එනම් ප්‍රදේශයේ පොදුවේ දක්නට ලැබෙන භෞතික හා භූ විද්‍යාත්මක ලක්ෂණ තෝරා ගන්නා ස්ථානයේ ද තිබිය යුතු ය. 
  • මෙම ස්ථානය ආසන්නයේ පොකුණු හා ජලාශ නොවිය යුතු ය. 
  • ජල වහනය සතුටුදායක වූත්, සමතලා වූත් බිම් කොටසක් විය යුතු ය. බාහිර බාධකවලින් තොර විය යුතු ය. 
  • සාමාන්‍යයෙන් අවට තිබෙන ගස් හා ගොඩනැගිලි ආදී බාධකවල සිට ඒවායේ උස මෙන් හතර ගුණයක දුරින් මධ්‍යස්ථානය පිහිටුවිය යුතු ය.
  • මෙම ස්ථානයට පහසුවෙන් ළඟා විය හැකි විය යුතුය.
  • තෝරා ගත් භූමිය විවෘත අවකාශයක් ඇති (Open Space) ස්ථානයක් විය යුතුය.
  • මෙම භූමි කොටස 50 × 50m ක ක්ෂේත්‍රඵලයක් තුළ 10 ×10m  ක්ෂේත්‍රඵලයකින් යුත් භූමියක් වීම වඩා සුදුසු ය.
  • මෙම ස්ථානයේ මතුපිට සමතලා කර තෘණ වැවිය යුතු අතර නිතර ම එම තෘණ කපා පිරිසිදු ව තබා ගත යුතු ය.
  • මධ්‍යස්ථානයට සතුන්ට ඇතුළු විය නොහැකි වන සේ ආරක්ෂිත කම්බි වැටක් තිබිය යුතු ය.


කාලගුණ ඒකකයක විවිධ කාලගුණික පරාමිතීන් මැනීම සඳහා භාවිත කරන උපකරණ


උපකරණ ස්ථාපනය කිරීම
උපකරණය ස්ථාපනය කිරීමේ දී එක උපකරණයකින් අනෙක් උපකරණයට වන බලපෑම අවම විය යුතු ය. එනම් එක උපකරණයක සෙවණැල්ල අනෙකක් මතට වැටීම සිදු නොවිය යුතු ය.

සරල වර්ෂාමානය 
පොළොව මට්ටමේ සිට වර්ෂාමානයේ ඉහළ දාරයට උස 300mm වන සේ ස්ථාපනය කළ යුතු ය. මෙසේ පිහිටුවීමේ දී වර්ෂාමානයේ පහළ කොටස පොළොව තුළ ගිල්වීමට සිදු වේ (157mm ගැඹුරට). විශේෂයෙන් සෑදූ සිමෙන්ති හෝ කොන්ක්‍රීට් වේදිකාවක් තුළ මෙය ස්ථාපනය කරයි. මේ සඳහා සමතලා බිමක් තෝරා ගත යුතු අතර, ගොඩනැගිලි, ශාක වැනි බාහිර බාධකවල උස මෙන් හතර ගුණයක් ඈතින් සවි කළ යුතු ය. වර්ෂාමානයෙන් ජලය කාන්දු වේ දැයි සොයා බැලිය යුතු අතර ජලය රැස් කරන බඳුනේ දූවිලි හෝ කොළ වැටී ඇත්නම් ඒවා ඉවත් කළ යුතු ය.
මිනුම් සරාව ද පිරිසිදු ව තබාගත යුතු ය.

අනිලමානය හා සුළං දිශා දර්ශකය
කෘෂිකාර්මික කටයුතු සඳහා පොළොව මට්ටමේ සිට මීටර් දෙකක් උසින් සුළඟේ වේගය මැනීම සිදු කරයි. ඒ නිසා අනිලමානය
පිහිටුවිය යුත්තේ පොළව මට්ටමේ සිට මීටර් 2 ක් උසිනි. පරිසරයේ
සුළං බාධක ලෙස ක්‍රියා කරන දේ නොතිබිය යුතු ය.

වායු ගෝලීය උෂ්ණත්වමාන සහ තෙත් හා වියළි බල්බ උෂ්ණත්වමානය/ආර්ද්‍රතාමානය
දෛනික උපරිම හා අවම උෂ්ණත්වයන් මැනීම සඳහා සික්ස්ගේ උපරිම හා අවම උෂ්ණත්වමානය හෝ උපරිම උෂ්ණත්වමානය හා අවම උෂ්ණත්වමානය වෙන වෙන ම සවි කර ඇති ඇටවුම ද භාවිත කළ හැක. සාමාන්‍ය උෂ්ණත්වමානය, උපරිම හා අවම උෂ්ණත්වමාන සහ
තෙත් සහ වියළි බල්බ උෂ්ණත්වමානය ලී පැනලයක සවි කරනු ලබයි. ඉන් පසු මෙම උපකරණ පැනලය ඒ සඳහා විශේෂිත ව සාදා ඇති ස්ටීවන්සන් ආවරණය තුළ සවි කරයි.

සූර්ය දීප්තමානය
මෙය 1.5m පමණ උස කොන්ක්‍රීට් කුලුනක් මත 30x30cm පමණ වේදිකාවක් සාදා ඒ මත තැන්පත් කරනු ලැබේ. මෙම උපකරණය නැඟෙනහිර බටහිර දිශා රේඛාවට අනුකූලව සවි කළ යුතු ය.

කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක පමණක් දක්නට ලැබෙන උපකරණ

වාෂ්පීකරණ තැටිය
වාෂ්පීකරණ තැටිය ස්ථාපනය කිරීමේ දී තැටිය වටා වායු සංසරණය පහසු කිරීම සඳහා සහ පොළව මත ගැටීම නිසා සිදු විය හැකි තැටිය රත් වීම අඩු කර ගැනීම පිණිස ලීවලින් තැනූ ආධාරකයක් මත 15cm ක උසින් තැටිය පිහිටුවිය යුතු ය. සතුන් ජලය බීමෙන් වැළැක්වීම සඳහා තැටිය මත දැලක් තබනු ලැබේ. වාෂ්පීකරණ තැටිය කාලගුණ ඒකකය තුළ ස්ථාපනය කිරීමේ දී ආරක්ෂක වැටෙහි සිට මීටර් 1.5 ක් ඇතුළතින් ද, වර්ෂාමානයේ සිට මීටර් 5 ක් ඈතින් ද සවි කළ යුතු ය.

පාංශු උෂ්ණත්වමාන
පසෙහි උෂ්ණත්වය මැනීම සඳහා මෙම උෂ්ණත්වමාන භාවිත කරයි. මේවායේ දිග බල්බය පස තුළට ඇතුළත් වන සේ පස මතුපිට සිට සෙන්ටිමීටර් 5, 10, 20, 30 සහ 100 ක ගැඹුරින් උෂ්ණත්වමාන කිහිපයක් පොළව මත සවි කරනු ලැබේ. මෙම පාංශු උෂ්ණත්වමාන ඇවිදගෙන
යාමේ දී නොපෑගෙන ලෙස වෙන ම වැටකින් ආවරණය කර තැබේ.

කාලගුණ මධ්‍යස්ථානයක දත්ත ලබා ගැනීම
කාලගුණික මධ්‍යස්ථානයක දත්ත ලබා ගැනීමේ සම්මත වේලාව වනුයේ පැය 8.30 හා පැය 15.30 වේ. වර්ෂාපතනය, උපරිම හා අවම උෂ්ණත්වමාන පාඨාංක, සූර්ය දීප්ත පැය ගණන,
සුළඟේ වේගය හා දිශාව, දෛනික වාෂ්පීකරණය යන දත්ත පැය 8.30 ට ලබා ගනී. තෙත් හා වියළි බල්බ උෂ්ණත්වමාන පාඨාංක හා පාංශු උෂ්ණත්වමාන පාඨාංක දවසට දෙවරක් පැය 8.30ට හා පැය 15.30 දී ලබා ගනී.

දත්ත සටහන් කිරීම
දිනකට වරක් පමණක් ලබා ගන්නා පරාමිතික දත්ත සටහන් කරනු ලබන්නේ පෙර දිනය යටතේ ය.

  • වර්ෂාපතනය
  • උපරිම උෂ්ණත්වය
  • අවම උෂ්ණත්වය
  • සූර්ය දීප්ත පැය ගණන
  • සුළගේ වේගය
  • වාෂ්පීකරණය


දිනකට දෙවරක් පමණක් ලබා ගන්නා පරාමිතිකවල පාඨාංක සටහන් කරනු ලබන්නේ දත්ත ලබා ගත් දිනට ඉදිරියෙන් උදය හා හවස ලෙස ය.

  • සාපේක්ෂ ආර්ද්‍රකාව
  • පාංශු උෂ්ණත්වය



Friday, November 22, 2019

ජෛව පද්ධති කෙරෙහි බලපාන දේශගුණික සාධක


කාලගුණය
කාලගුණය යනු යම් ප‍්‍රදේශයක, යම් නිශ්චිත කෙටි කාල සීමාවක් තුළ වායුගෝලයේ පවතින ස්වභාවයයි.


දේශගුණය
දේශගුණය යනු දීර්ඝ කාලයක් තුළ යම් ප්‍රදේශයක කාලගුණික දත්ත අධ්‍යයනය කර දක්වන සාමාන්‍ය පරිසර තත්ත්වයයි.


ප්‍රධාන දේශගුණික සාධක

  • වර්ෂාපතනය
  • ආලෝකය
  • උෂ්ණත්වය
  • සුළඟ
  • සාපේක්ෂ ආර්ද්‍රතාව
  • වායුගෝලීය පීඩනය



දේශගුණික සාධක ජෛව පද්ධති කෙරෙහි ඇති කරන බලපෑම 


වර්ෂාපතනය

  • කෘෂිකාර්මික කටයුතු කෙරෙහි බලපෑම

වර්ෂාපතන රටාව අනුව ගොවිතැන් කිරීම
    උදා: යල හා මහ කන්නවල දී වී හා ක්ෂේත්‍ර බෝග වගා කිරීම
                යල කන්නය : මාර්තු සිට අප්‍රේල් - සංවහන වැසි (පළමු                            අන්තර් මෝසම) මැයි සිට සැප්තැම්බර් - නිරිත දිග මෝසම
                මහ කන්නය : ඔක්තෝම්බර් සිට නොවැම්බර් - සංවහන වැසි                  (දෙවන අන්තර් මෝසම) දෙසැම්බර් සිට පෙබරවාරි - ඊසාන                     දිග මෝසම

වර්ෂාව නිසා වන හිතකර බලපෑම්

  • ශාක වර්ධනයට අවශ්‍ය ජලය ලැබීම
  • බිම් සැකසීම පහසු වීම
  • ජල පෝෂකවලට ජලය ලැබීම
  • භූගත ජලය පෝෂණය වීම
  • ගුණාත්මක තෘණ නිෂ්පාදනය ඉහළ යාම
වර්ෂාපතනය අධික වීම නිසා බලපෑම්
  • මෝය කට ආශ්‍රිත ප්‍රදේශවලට බහුල ව පෝෂ්‍ය පදාර්ථ ලැබීම නිසා මත්ස්‍ය ගහණය වැඩි වීම.
  • ගංවතුර වල අඩංගු අවලම්බන නිසා මසුන්ගේ කරමල් තුවාල වීම, ශ්වසන අපහසුතා ඇති වීම හා බිත්තර විනාශ වීම නිසා මත්ස්‍ය ඝනත්වය අඩු වීම
  • මත්ස්‍ය අස්වනු නෙළීමේ සහ සැකසීමේ ගැටලු ඇති වීම
  • ලවණ සාන්ද්‍රණය අඩු වීම නිසා කිවුල්දිය මත්ස්‍ය කර්මාන්තයට බාධා ඇති වීම
  • නිදැලි ක්‍රමයට ඇති කරන සතුන් කෙරෙහි අයහපත් ලෙස බලපෑම
  • රොන්මඩ ජලාශවල තැන්පත් වීම නිසා ජලාශ ධාරිතාව අඩු වීම
  • ජලජ පරිසර පද්ධතිවලට රසායන ද්‍රව්‍ය හා බැර ලෝහ එකතු වීම , ඒවා ආහාර දාම ඔස්සේ මිනිසාට ගමන් කර අහිතකර බලපෑම් ඇති කිරීම - උදා - සුපෝෂණය
  • පාංශු ඛාදනය - මතුපිට අපධාවය වැඩි වීම
  • බෝගවල යාන්ත්‍රික හානි (ශාක ඇද වැටීම, මල් හා ඵල හැලීම)
  • පරාග සේදී යාම නිසා පරාගනයට බාධා ඇති වීම
  • බෝග අස්වනු නෙළීම හා සැකසීම වැනි ක්‍රියාවලිවලට බාධා ඇතිවීම, පසු
  • අස්වනු හානි ඇති වීම
  • රෝගකාරක ව්‍යාප්ත වීම
  • ඉදි කිරීම්වලට බාධා ඇති වීම


වර්ෂාපතනය අඩු වීම නිසා ඇති වන අහිතකර බලපෑම්

  • මත්ස්‍ය අභිජනන රටා වෙනස් වීම
  • ස්වාභාවික පරිසර පද්ධති කෘෂිකාර්මික පද්ධති, ජෛව පද්ධති විනාශ වීම
  • ජලාශ සිඳී යාම නිසා ඒවායේ සිටින ජලජ ජීවීන් මිය යාම
  • නියං කාලවල දී ජලයේ ලවණතාව වැඩි වීම
  • ජීවී සංක්‍රමණ රටා, ප්‍රජනන රටා, පෝෂක රටා වෙනස් වීම නිසා මත්ස්‍ය අස්වැන්න අඩු වීම

උෂ්ණත්වය
Cold Frosty The Snowman GIF
        කෘෂිකාර්මික කටයුතු සඳහා බලපෑම
බීජ ප්‍රරෝහණය, ප්‍රභාසංශ්ලේෂණය, උත්ස්වේදනය, ශ්වසනය හා පුෂ්පීකරණය යන ක්‍රියාවලි සඳහා උෂ්ණත්වය බලපායි.
    උදා: 

  • බීජ ප්‍රරෝහනයේ දී උෂ්ණත්වය භාවිත කර බීජ සුප්තතාව ඉවත් කළ        හැකි ය.
  • ගෝවා, කැරට් වැනි ශාකවල පුෂ්ප හට ගැනීමට අඩු උෂ්ණත්ව තත්ත්ව අවශ්‍ය වේ.
  • අර්තාපල්වල ආකන්ධ වර්ධනයට රාත්‍රි උෂ්ණත්වය බලපායි. වැඩි උෂ්ණත්වවල දී ශ්වසන වේගය වැඩි වීම, ආහාර සංචිත අඩු වීමට හේතු වේ.
  • ශාක වර්ධක ප්‍රචාරණයට උෂ්ණත්වය බලපායි. ශාක අතු ඉක්මනින් මුල් අද්දවා ගැනීමට ඉහළ උෂ්ණත්වය භාවිත කෙරේ. පොලිතිං උමං, හරිතාගාර, සූර්යය ප්‍රචාරක ව්‍යූහවල දී ඉහළ උෂ්ණත්ව භාවිතයට ගනු ලැබේ.
  • බෝග අස්වනු නෙළා ගත් පසු ඒවා සැකසීම හා ගබඩා කිරීමට ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්ව යොදා ගනු ලැබේ.
  • උෂ්ණත්වය අඩු හා වැඩි වූ විට ගොවිපොළ සතුන් පීඩාවට පත් වීම නිසා නිෂ්පාදනය අඩු වීම

       උදා - වැඩි උෂ්ණත්වයේ දී ගොවිපොළ සතුන් පීඩාවට පත් වී                             නිෂ්පාදනය අඩු වීම (කිරි හා බිත්තර), ආහාර ආගනුව අඩු                         වීම, ලිංගික පරිණතියට ගත වන කාලය වැඩි වීම.

  • ගොනුන්ගේ ශුක්‍රාණුවල ගුණාත්මක බව අඩු වීම
  • පරාග වියළීම නිසා බෝග අස්වනු අඩු වීම උදා: වී

       * ආහාර ද්‍රව්‍ය නරක් වීමට බලපාන ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය කෙරේ             උෂ්ණත්වය බලපායි.
       * වැඩි උෂ්ණත්වය නිසා සමහර ජීවීන් තුරන් වීම සිදු වීම
       * සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම කොරල්පරවලට අහිතකර               ලෙස බලපෑම
       * පාරිසරික උෂ්ණත්වය ඉහළ යන විට සාගර ජල මට්ටම් ඉහළ යාම           නිසා වෙරළාශ්‍රිත හා පහත් බිම් සාගරයෙන් යට වීමෙන් පස අධික             ක්ෂාරීයතාවට පත් වීම

ආලෝකය
शुभप्रभात सुप्रभात GIF - शुभप्रभात सुप्रभात गुडमोर्निंग GIFs
  • ශාක ප්‍රභාසංස්ලේෂණය, ශ්වසනය, වර්ණක සංශ්ලේෂණය, උත්ස්වේදනය යන ක්‍රියාවලි සඳහා බලපායි.
  • ශාක ප්‍රභාවර්තී චලන සඳහා වැදගත් වේ.
  • ජලජ පරිසර පද්ධතිවල ප්ලවාංග හා ජලජ පැළෑටි වර්ධනය වීමට
  • සත්ත්ව පාලනයේ දී ඇතැම් ගොවිපොළ සතුන් ආලෝකය සඳහා සංවේදී වේ.
       උදා: කුකුළු පැටවුන්ට කෘත්‍රිම ව ආලෝකය සැපයීම
  • දිවා කල දිග වැඩි වන විට කිකිළියන්ගේ ලිංගික පරිණතිය ඉක්මන් වේ.
  • අධික ආලෝක තීව්‍රතාවක් ඇති විට එළවලු, පලතුරුවල වයනයට හානි සිදු වේ.
  • ඵලවල වර්ණක වියෝජනයට බලපායි.

සුළඟ
Storm Windy GIF - Storm Windy Dorian GIFs
        මද සුළඟ
  • පරාගණයට හා ප්‍රභාසංශ්ලේෂණයට හිතකර ව බලපායි
  • පරිසර උෂ්ණත්වය වැඩි වීම සමනය කරයි.

       අධික සුළඟ
ශාකවලට අහිතකර ලෙස බලපෑම් ඇති කෙරේ.
       උදා - 
  • ශාකවලට යාන්ත්‍රික හානි සිදු වීම
  • විසුරුම් ජල සම්පාදනයට බාධා වීම
  • බෝග අස්වනු සැකසීමේ දී / පිරිසිදු කිරීමේ දී / අස්වනු වියළීමේ දී බාධා ඇති වීම
  • රෝග හා පළිබෝධ ව්‍යාප්තිය වැඩි වීම
  • ධීවර කටයුතුවලට බාධා ඇති වීම
  • උත්කුපායනය සිදු වීම (සාගර ප්‍රදේශවල සුළං තත්ත්ව මගින් සමුද්‍ර පතුළේ ඇති කාබනික ද්‍රව්‍ය මතුපිටට ඒම. එවිට මත්ස්‍ය සම්පත අධික වේ.)
  • අධික සුළං පාංශු ජලය වාෂ්පීකරණය වේගවත් කෙරේ.
  • අධික සුළං තත්ත්ව යටතේ පස් අංශු, දුහුවිලි අංශු ගසාගෙන ගොස් ජලාශවලට එකතු වීම නිසා ජලාශවල ආවිලතාව (Turbidity) වැඩි වේ. එය මත්ස්‍ය ගහනයට අහිතකර ලෙස බලපායි.

සාපේක්ෂ ආර්ද්‍රතාව
Water Generates GIF
  • වර්ෂා කාලයේ දී සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වීම හේතුවෙන් ශාක රෝග ව්‍යාප්තිය වැඩි වේ.
  • අස්වනු නෙළීම, සැකසීම, ගබඩා කිරීම සඳහා සාපේක්ෂ ආර්ද්‍රතාව ප්‍රශස්ත ව තිබිය යුතු ය.
  • ශාකවල උත්ස්වේදන ක්‍රියාවලියට බලපායි.

වායුගෝලීය පීඩනය
Animated GIF
ඉහළ වායුගෝලීය පීඩනය කාලගුණ තත්ත්වවලට බලපෑම් ඇති කරයි.
  • වැඩි පීඩන තත්ත්ව යටතේ වලාකුළු වර්ධනය නොවන නිසා වැසි රහිත තත්ත්වයක් ඇති වේ.
  • අඩු පීඩන තත්ත්ව යටතේ වලාකුළු වර්ධනය වේගවත් වන නිසා දැඩි වර්ෂාපතනයක් සහ අකුණු සහ සුළං මගින් අහිතකර බලපෑම් ඇතිවේ.
  • අඩු පීඩන තත්ත්ව යටතේ දී දැඩි වර්ෂාපතනයක් ඇති වන හෙයින් ගංවතුර, නාය යාම් වැනි ස්වාභාවික විපත් ඇති වේ.


Wednesday, November 20, 2019

වීවල පසු අස්වනු ක්‍රියාකාරකම්

වී වල පසු අස්වනු ක්‍රියාකාරකම්
“වී අස්වනු නෙළීමේ සිට සහල් පරිභෝජනය කරන තෙක් සිදු කරන සියලු ක්‍රියාකාරකම් පසු අස්වනු ක්‍රියාකාරකම් වේ.”
මෙමගින් වී වල පසු අස්වනු හානි අවම වන අතර, එමගින් නිෂ්පාදන වියදම අඩු කර ගත හැකි වේ.
වී වල ගුණාත්මකභාවය තීරණය කිරීමේදී පිරිසිදු නොකරන වී කිලෝ එකකින් ලබා ගත් පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය: Head Rice yield - HRY වැදගත් වේ.
දියුණු රටවල වී වල මිල තීරණය වන්නේ මෙම පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය මත ය.


නිසි පසු අස්වනු ක්‍රියාකාරකම් අනුගමනය කිරීමෙන් මෙම HRY අගය ප්‍රශස්ත මට්ටමක පවත්වාගත හැක.

වීවල ප්‍රධාන පසු අස්වනු ක්‍රියාකාරකම්
  • අස්වනු නෙළීම
  • කොළ මැඩීම
  • පිරිසිදු කිරීම
  • වියළීම
  • ගබඩා කිරීම
  • සහල් සැකසීම
  • අලෙවිය

අස්වනු නෙළීම

අස්වනු නෙළන කාලය (Time of harvesting)
නියමිත කාලයේ දී අස්වනු නෙළීමෙන් ගුණාත්මත බවින් යුතු සහල් නිෂ්පාදනයක් මෙන්ම වැඩි වෙළෙඳපොළ අගයක් ලබා ගත හැකිය.
උදා - 
අස්වනු නියමිත කාලයට පෙර නෙළීමෙන් බොල් වී වැඩි වී, අස්වැන්න අඩු වීමත් වී කෙටීමේ දී කැඩුණු සහල් ඇති වීමත් සිදු වේ.
අස්වනු නියමිත කාලයට පසු නෙළීමෙන් ක්ෂේත්‍රයේ දී පළිබෝධ හානි නිසා වී අස්වැන්න හා ගුණාත්මක බව අඩු වේ. එමෙන් ම, වී කෙටීමේ දී කැඩුණු සහල් ඇති වේ.

අස්වනු නෙළන කාලය වීවල පරිණත දර්ශක , තෙතමන ප්‍රතිශතය හා පුෂ්ප මූලාකෘති හටගැනීමෙන් පසු දින ගණන මත තීරණය වේ.

වීවල පරිණත දර්ශකය
වී කරලක ඇති පැසුණු බීජ සංඛ්‍යාව (Ripe grains per panicle) වී කරලේ බීජවලින් 85 - 90% කහ පාට වී ඝන වී ඇති අවස්ථාවේ අස්වනු නෙළීම සිදු කරයි.

වී බීජවල තෙතමන ප්‍රතිශතය
වී බීජවල තෙතමන ප්‍රතිශතය වැඩි අවස්ථාවේ අස්වනු නෙළීමෙන් වී කරලෙන් අස්වනු වෙන් කිරීම අපහසු වේ. අධික ලෙස වී කරල් වියළී ඇති විට අස්වනු නෙළීමෙන් වී ඇට හැලී, අස්වනු වලට හානි සිදු වේ.



පුෂ්ප මූලාකෘති හට ගැනීම
පුෂ්ප මූලාකෘති ඇති වීමෙන් පසු දින ගණන ගැනීිමෙන් අස්වනු නෙළන කාලය තීරණයකළ හැකි ය. මෙය වී වර්ගය අනුව වෙනස් වේ.
වියළී කාලයේ දී පුෂ්ප මූලාකෘති ඇති වී දින 28-35 අස්වැන්න නෙළිය හැකි ය. වර්ෂාකාලයේ දී මෙය දින 32-38 දක්වා වෙනස් විය හැකි ය.
මේ අනුව නියමිත කාලයේ දී අස්වනු නෙළීමෙන් පිරුණු සහල් ප්‍රතිශතය (HRY%)  වැඩිකරගත හැකි වේ.

වී අස්වනු නෙළීමේ ප්‍රධාන ක්‍රියාකාරකම්
  • ගොයම් කැපීම (Cutting)
  • කොළ මැඩීම (Threshing)
  • වී පිරිසිදු කිරීම (Cleaning)
මීට අමතරව පහත සඳහන් ක්‍රියාකාරකම්ද සිදු කරනු ලබයි.
  • ක්ෂේත්‍රයේ දී ගොයම් කපා වියළීම
  • කැපූ ගොයම් කොළ මඩින ස්ථානයට ගෙන ඒම (Hauling)
  • කොළ මඩින තෙක් ගොයම් ගොඩ ගසා තැබීම
ක්ෂේත්‍රයේ දී ගොයම් නෙළීමෙන් පසු වියළීම හා ගොයම් ගොඩ ගැසීම අනුමත නොකරන පසුඅස්වනු ක්‍රියාකාරකම් වේ. මන්ද යත්, එම ක්‍රියාකාරකම් ධාන්‍යවල ගුණාත්මක අඩු වීමටත් බීජ හැලීමටත් හේතු වන නිසා පසු අසවනු හානි වීමත් සිදු වීමයි. එම නිසා ගොයම් කැපූ විගස කොළ මැඩීම වැදගත් වේ.

අස්වනු නෙළීමේ ක්‍රම
01. දෑකැති භාවිතයෙන් අතින් අස්වනු නෙළීම
02.යන්ත්‍ර මඟින් අස්වනු නෙළීම

වී අස්වනු නෙළීම සංඳහා සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍ර (Combine harvester)භාවිතය මේ වන විට ශ්‍රී ලංකාව තුළ බෙහෙවින් ජනප්‍රිය වී ඇත. කම්කරු ශ්‍රම හිගයට හොඳ විකල්පයක් වීම, කාර්යක්ෂමතාව ඉහළ වීම, කාර්යයන් ගණනාවක් එකවර සිදු වන නිසා කාලය ඉතිරි වීම, වියදම අඩු වීම ආදී කරුණු මෙයට හේතු වී ඇත. සංයුක්ත අස්වනු නෙළනය මගින් ගොයම් කැපීම, හැසිරවීම, කොළමැඩීම හා වී පිරිසිදු කිරීම යන ක්‍රියා ඒකාබද්ධ ව හසුරුවනු ලබයි.


කොළ මැඩීම(Threshing)
කොළ මැඩීමේ දී ගොයම්වල නියමිත තෙතමන ප්‍රතිශතය නොමැති වුවහොත් (ගොයම් අධිකලෙස වියළීම හෝ තෙත් බවින් යුක්ත වුවහොත්) කැඩෙන වී ප්‍රමාණය වැඩි වීමෙන් සිදු වන පසුඅස්වනු හානි වැඩි වේ.එබැවින් වීවල තෙතමන ප්‍රතිශතය 18 - 20% අතර පවත්වා ගැනීම වැදගත් ය.
කොළ මැඩීම සදහා විවිධ ක්‍රම භාවිත කෙරේ.
  • අතින් කොළ මැඩීම 
  • මිනිස් ශ්‍රමය (Manual threshing) භාවිතයෙන් කොළ මැඩීම 
  • සත්ත්ව බලය(මී ගවයින් ) භාවිතයෙන් කොළ මැඩීම 
  • යන්ත්‍ර මගින් කොළ මැඩීම 


සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍රයේ ගොයම් කැපීම, මැඩීම සහ පිරිසිදු වීම යන සියල්ලම එකවර සිදු වන අතර කොළ මැඬීම පමණක් සිදු කරන යන්ත්‍රද ඇත.




අතින් කොළ මැඩීම සදහා ශ්‍රම අවශ්‍යතාව වැඩි බැවින් කොළ මැඩීම සදහා කොළ මඩින යන්ත්‍ර භාවිත කරනු ලබයි. කොළ මඩින යන්ත්‍ර කුඹුර ආසන්නයටම රැගෙන යා හැකි බැවින් ගොයම් ඔසවාගෙන යෑමේ දීසිදු වන අස්වනු හානිය අවම කර ගත හැකි ය.කොළ මඩින යන්ත්‍ර භාවිතයේ දී ගොයම් කැපීමත් සමග ම කොළ මැඩීමත් සිදු වන බැවින්,වීවලට සිදු වන භෞතික හානි හා ගුණාත්මක හානි වළක්වාගත හැකිය.
ධාන්‍ය පිරිසිදු කිරීම
කොළ මැඩීමෙන් පසු වී පිරිසිදු කිරීම සිදු කළ යුතුය. ධාන්‍ය නොවන වෙනත් ද්‍රව්‍ය ඉවත් කිරීම මින් අදහස් කරයි.මෙහිදී,
  • ප්‍රමාණයේ  වෙනස
  • බර  වෙනස
අනුව අපද්‍රව්‍ය වෙන් කිරීම සිදු කළ හැකි ය.
මූලිකව අපද්‍රව්‍ය ඉවත් කිරීමට ස්වභාවික සුලඟ භාවිත කරනු ලැබේ. ඊට අමතරව පංකා හෝ සිදුරු සහිත උපකරණ  යොදා ගනී. මේවා වාණිජ මට්ටමින් භාවිත වේ. එසේම අස්වනු සැකසීමේ සෑම පියවරකදීම පිරිසිදු කිරීම කළ යුතු ය.
වී පිරිසිදු කිරීමේ වැදගත්කම් පහත පරිදි වේ.
  • වී පිරිසිදු කිරීමේ දී වී සමග ඇති පිදුරු කැබලි, වල් බීජ, කුණු දූවිලි, අනෙකුත් බීජ නොවන දෑ ඉවත් වේ.
  • රෝග හානි අවම වේ.
  • වී ගබඩා කර තබා ගත හැකි කාලය වැඩි වේ.
  • වී කෙටීමේ දී ධාන්‍යයට සිදු වන හානිය අවම වේ.
  • ගුණාත්මක බවින් යුතු සහල් සැකසිය හැකි ය.

වියළීම (Drying)
අස්වනු වියළීම මගින් ධාන්‍ය වැඩි කාලයක් ගබඩා කර තබා ගත හැකි වේ. වී වියළීමට පමා වීමෙන් හෝ නිසි ලෙස තෙතමනය අඩු නොකිරීමෙන් පසු අස්වනු හානි සිදු වීම හා ගුණාත්මක බව අඩු වීම සිදු වේ.
වීවල තෙතමන ප්‍රතිශතය වැඩි වූ විට,
  • වීවල ශ්වසන වේගය වැඩි වී, උෂ්ණත්වය වැඩි වීම නිසා සහල් කහ පැහැ වීම වීම සිදු වේ.
  • කෘමි පළිබෝධ හා දිලීර හානි වැඩි වීම මගින් ධාන්‍යවල ගුණාත්මක බව අඩු වේ.
  • සහල්වල ගන්ධයක් ඇති වීමෙන් පාරිභෝගික රුචිකත්වය අඩු වේ.
  • බීජවල ජීව්‍යතාව අඩු වීමෙන් බිත්තර වී නිෂ්පාදනය කිරීමේ දී ගැටලු ඇති වේ.
වී වියළීම සිදු කරන ක්‍රම 
  • සූර්ය තාපයෙන් වියළීම
  • යන්ත්‍ර මගින් වියළීම
සූර්ය තාපයෙන් වී වියළීම
සූර්ය තාපයෙන් වී වියළීම සාම්ප්‍රදායික වියළීමේ ක්‍රමයක් වුව ද වී වියළීම සඳහා අදටත් ආසියාවේ බහුල ව මෙම ක්‍රමය භාවිත කරනු ලබයි.සරල පහසු ක්‍රමයක් වීමත් වියදම අඩු වීමත් මෙයට ප්‍රධාන හේතුවයි.



සූර්ය තාපයෙන් වී වියළීමේ දී සීමාකාරී සාධක පිළිබඳ කිහිපයක් ඇත.
  • වියළීම ප්‍රමාද වීමෙන් ශ්වසන ශීඝ්‍රතාව හා දිලීර වර්ධනය වැඩි වීම නිසා සහල් (අව) කහපැහැ වීම
  • වර්ෂාපතනය ඇති කාලවල හෝ හෝ රාත්‍රි කාලයේ සිදු කළ නොහැකි වීම
  • ශ්‍රම අවශ්‍යතාව වැඩි වීම
  • විශාල පරිමාණයෙන් සිදු කළ නොහැකි වීම
  • උෂ්ණත්වය පාලනය කළ නොහැකි වීම
යන්ත්‍ර මගින් වියළීම
යාන්ත්‍රික වියළීම සඳහා උණුසුම් වායු ධාරා සහිත වියළන භාවිත කරනු ලබයි. වර්තමානයේ මහා පරිමාණ ව්‍යාපාරික වගාවන්හිදී මෙන්ම විශේෂයෙන්ම සහල් නිෂ්පාදකයන් මෙම වියළන භාවිත කරනු දැකිය හැක.



යාන්ත්‍රික වියළීමේ වැදගත්කම් ලෙස
  • වර්ෂාපතනයෙහි බලපෑමක් නොමැති වීම
  • විශාල පරිමාණයෙන් සිදු කළ හැකි වීම
  • උෂ්ණත්වය පාලනය කළ හැකි වීම
සැලකිය හැක.

ගබඩා කිරීම
වී ගබඩා කිරීමේ දී නිසි තත්ත්ව ලබා නොදීමෙන් වීවල ප්‍රමාණාත්මක හා ගුණාත්මක හානි සිදු වේ.
උදා -
වී ගබඩා කිරීම නිසි ලෙස සිදු නොකිරීම නිසා තෙතමනය වැඩි වීමෙන්, කෘමි හානි, දිලිරහා වෙනත් සතුන්ගෙන් හානි සිදු වීම හේතුවෙන් අස්වනු ප්‍රමාණයෙන් 10 - 15% ක ප්‍රතිශතයක් ප්‍රමාණාත්මක ව හානි වේ.
වීවල ජීව්‍යතාව අඩු වී, ප්‍රරෝහණ ප්‍රතිශතය අඩු වීම සහ සහල් පරිභෝජනයට ප්‍රියනොවන තත්ත්වයට පත් වීමෙන් ගුණාත්මක ව හානි සිදු වේ.
වී ගබඩා කිරීමේදී සමතුලිත සාපේක්ෂ ආර්ද්‍රතාව (Equilibrium Relative Humidity -ERH), හා ජල සක්‍රියතාව (Water activity - awබෙහෙවින් වැදගත් වේ.
වී ගබඩා කිරීමේ දී වීවල තෙතමන ප්‍රතිශතය මත ගබඩා කාලය වෙනස් වන ආකාරය පහත වගුව මගින් දක්වා ඇත.

සහල් සැකසීම

වී තැම්බීම (Paraboiling)
වී ඒ ආකාරයෙන්ම කෙටීමෙන් කැකුළු සහල්ද කම්බා කෙටීමෙන් තම්බාපු සහල්ද නිපදවනු ලැබේ. ගුණාත්මක බවින් උසස් තම්බපු සහල් නිපදවීම සඳහා වී තැම්බීමේ දී සැලකිය යුතු කරුණු ගණනාවක් ඇත.
උදා -
  • තැම්බීම සඳහා යොදා ගන්නා වී මනාව වියළි ව හා පිරිසිදු ව තිබිය යුතු වේ.
  • වී වර්ග මිශ්‍ර නොවී තිබිය යුතු වේ.
  • තැම්බීමට ප්‍රථම වී ඇල් ජලයේ පෙඟවිය යුතු ය. මෙහිදී නොපැසුණු ඇට ඉවත්කිරීමෙන් කළු ඇට ප්‍රමාණය අඩු කරගත හැකි වේ.
  • පෙඟවීමේ කාලය - කෙටි වී සඳහා පැය 24-36, දිගු වී සඳහා පැය 48
  • පැය 12කට වරක් ජලය ඉවත් කර අලුත් ජලය දැමීමෙන් සහල්වල දුගඳ ඉවත් කරගතහැකි ය.
  • පොඟවා ගත් වී හුමාලය මගින් තැම්බීම සිදු කළ යුතු ය.
  • තැම්බූ වී බිමට බාගත් විගස සිසිල් වීම සඳහා කමතක තුනී කර තැබිය යුතු ය.
මෙලෙස තැම්බූ වී පදම් කරමින් වියළීම සිදු කළ හැකි ය.

වී කෙටීම (Rice Milling)
වී කෙටීම යනු වී පොත්ත සහ සහල් නිවුඞ්ඩ ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. 
වී කෙටීම සිදු කරන ආකාර ගණනාවක් ඇත.

01. එකවරම කෙටීමෙන් වී පොත්ත සහ නිවුඞ්ඩ ඉවත් කිරීම
උදා -

වංගෙඩියේ දමා වී කෙටීම 

මෙහිදී වංගෙඩියේ ඉහළට හා පහළට බලයක්යෙදීමෙන් වී පොත්ත ඉවත් කරයි. මෙහිදී සහල් නිවුඞ්ඬේ කොටසක් ද ඉවත් වේ.


තනි වානේ රෝදය සහිත සහල් කෙටීමේ යන්ත්‍ර (Steel single pass mill) මගින් 

මෙහිදී ද එකවර වී පොත්ත හා නිවුඞ්ඩ ඉවත් කරයි.
මෙම ක්‍රමයේදී කැඩුණු සහල් ඇට ඇති වන අතර White rice recovery ප්‍රතිශතය 50-55% වේ. එනම් HRY ප්‍රතිශතය අඩු වේ.

02. වී පොත්ත ඉවත් කිරීම හා පොලිෂ් කිරීම පියවර දෙකක දී සිදු කිරීම

මෙම ක්‍රමය බොහෝ රටවල භාවිත කරනු ලබයි. මෙහිදී රබර් රෝල්භාවිතයෙන් වී පොත්ත ඉවත් කරනු ලබන අතර, වානේ රෝදය මගින් සහල් පොලිෂ් කිරීම සිදුකරනු ලැබේ.මෙහි නොකැඩූ සහල් ඇති වීමේ (Milling Recovery) ප්‍රතිශතය 60% වඩා වැඩි වේ. එනම්, HRY ප්‍රතිශතය වැඩි ය.
මහා පරිමාණ වී කෙටීමේ කර්මාන්ත ශාලාවල වී කෙටීම පියවර ගණනාවක දී සිදු කරනු ලබයි.
  • වී කෙටීමට පෙර පිරිසිදු කිරීම
  • වී පොත්ත ඉවත් කිරීම
  • වී පොලිෂ් කිරීම
  • කැඩුණු සහල් ඉවත් කිරීම
  • සහල් බෑග්වලට ඇසිරීම
  • අතුරුඵල කළමනාකරණය



පාංශු සංරක්ෂණ ක්‍රම


පාංශු සහ ජල සංරක්ෂණ ක්‍රම ගැන සිංහලෙන්ම පැහැදිලි  කෙරෙන වීඩියෝවක් මෙන්න. බලලා අවබෝධයක් ලබා ගන්නකො එහෙනම්. 
අපේ blog අඩවිය ගැන ඔබේ අදහසත් යටින් comment කරගෙන යන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

මෙතනින් ගිහින් බලන්න.

ජෛව පද්ධති තාක්ෂණවේදය උසස් අධ්‍යාපන අවස්ථා


උසස්පෙළට BST කරන අපට තියෙන උසස් අධ්‍යාපන අවස්ථා ගැන තාම අපේ දරුවෝ සමහරු දන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුවත් කිරීමක් නිකුත් කරලා තියෙනවා. බලලා අවබෝධයක් ලබා ගන්න. 

මෙතනින් ගන්න.

තාක්ෂණවේදය සදහා විද්‍යාව - Science for Technology සටහන්

මෙන්න ඹබට SFT සිද්ධාන්ත සටහන් තොගයක්ම. ඇතැම් ඒවා පැරණි විෂය නිර්දේශයට අදාළ ඒවා. නමුත් නව විෂය නිර්දේශයටත් ඒවා අදාළයි. ඩවුන්ලෝඩ් කරගෙන කියවලා බලන්න. අදාළ මාතෘකාව click කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


සැ.යු.  - මෙහි තිබෙන ලිපි අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. සියළු හිමිකම් මුල් කතුවරයා සතුය.



01 - ක්ෂුද්‍රජීව විද්‍යාව

02 - රසායන විද්‍යාව 1 කොටස

03 - හෞතික විද්‍යාව 1 කොටස

04 - හෞතික විද්‍යාව 11 කොටස

05 - ගණිතය 1 කොටස

06 - ගණිතය 11 කොටස

07 - බලය

08 - තාප රසායනය

09 - රසායනික කර්මාන්ත

10 - රසායනික කර්මාන්ත

11- භ්‍රමණ චලිතය

12 - ක්ෂුද්‍රජීවීන් සහ ඔවුන්ගේ භාවිත


එන්ජිමක ප්‍රධාන සංරචක

01. සිලින්ඩර බඳ - CYLINDER BLOCK
එක ම කොටසක් ලෙස චීනට්චට්ටි ලෝහයෙන් හෝ වෙනත් මිශ්‍ර ලෝහ මගින් වාත්තු කර ඇත. වාත්තු කිරීමේ දී පිස්ටන් චලිතය සඳහා සිලින්ඩර බෝරයන් ද, දඟර කඳ භ්‍රමණය සඳහා මව්බෝරයන් ද, කැමිදණ්ඬේ ක්‍රියාකාරිත්වය සඳහා කෑම්බෝරයන් ද, ජල කුහර, තෙල් මාර්ග සහ ඇණ සවිකිරීම සඳහා සිදුරු ද අවශ්‍ය පරිදි වාත්තු කර ඇත. සිලින්ඩර බඳ, තනි සිලින්ඩර හා බහු සිලින්ඩර ලෙස පැවතිය හැකි අතර එන්ජිමේ බොහෝ බාහිර කොටස් සවි කරනු ලබන්නේ සිලින්ඩර බඳට ය.


02 සිලින්ඩර හිස - CYLINDER HEAD
සිලින්ඩර හිස ද චීනට්චට්ටි ලෝහයෙන් වාත්තු කර ඇති අතර සමහර එන්ජින් ඇලුමීනියම් මිශ්‍ර ලෝහය යොදා නිෂ්පාදනය කර ඇත. සිලින්ඩර බඳක ඉහළ කොටස ආවරණය වනුයේ මෙම සිලින්ඩර හිසෙනි. චූෂණ හා පිටාර වෑල්ව, මෙය තුළ ක්‍රියාකරනු ලබන අතර දහන කුටීර, චූෂණ හා පිටාර වායු මාර්ග, පුලිඟු පේනූ හෝ ඉන්ධන විදින, තාප පේනු, සවිකිරීමට සිදුරු ද, බඳ හා හිස සම්බන්ධ කිරීමටත් රෝකර් ආම් එකලස හා ටැපට්
කවරය සම්බන්ධ කිරීමට ඇණ තව් ද මෙහි සකස් කර ඇත.


03. දඟර කඳ - CRANK SHAFT
ඉන්ධන දහනයෙන් නිපදවෙන බලය පිස්ටන්, පිස්ටන් අත් ඔස්සේ දඟර කඳට ලබාගෙන එම බලය පිටතට නිකුත් කිරීම සඳහා දඟර කඳ ශක්තිමත් ව තිබිය යුතු බැවින් එය මිශ්‍ර වානේවලින් නිපදවනු ලබන අතර පිස්ටන්වලට ලැබෙන රේඛීය චලිතය, භ්‍රමණ චලිතයකට පත්කිරීම දඟර කඳ මගින් සිදු කෙරේ. දඟර කඳේ ජර්නල් වර්ග දෙකක් ඇත. ඉන් ප්‍රධාන
ජර්නල සිලින්ඩර බඳට ද, මහකොන් ජර්නල් පිස්ටන් අතට ද බෙයාරින් ආධාරයෙන් සම්බන්ධව පවතී. ජර්නලව ට තෙල් සැපයීම සඳහා දඟර කඳේ තෙල් සිදුරු විද ඇත.


04. කැමි දන්ඩ - CAM SHAFT
එන්ජිමේ චූෂණ හා පිටාර වෑල්ව නියමිත වෙලාවට විවෘත කිරීම කැමි දණ්ඩ මගින් සිදු වේ. එන්ජින් බඳේ හෝ හිසේ ඇති කැමි ජර්නල තුළ ඇති බුහු මත කැමි දණ්ඩ භ්‍රමණය වේ. සමහර එන්ජින්වල කැමි දඩු දෙකක් පැවතිය හැක. කැමි දණ්ඬේ ඇති කැමි මගින් වෑල්ව් විවෘත කිරිම සිදුකරනු ලබන අතර එහි ම පවතින දැති රෝද මගින් පෙට්‍රල් එන්ජිමක ඩිස්ටි්‍රබියුටරය හෝ ස්නේහක තෙල් පොම්පය ක්‍රියා කරවනු ලබයි. කැමි දණ්ඩද ශක්තිමත් ව තිබිය යුතු බැවින් මිශ්‍ර වානේවලින් නිෂ්පාදනය කරනු ලැබේ.



05. පිස්ටනය - PISTON
පිස්ටනය, පිස්ටන් අත මගින් දඟර කඳට සම්බන්ධ ව පවතින අතර දහනයේ දි එන්ජිම තුළ නිපදවන ශක්තිය පිස්ටන හිස මතට ලබාගෙන පිස්ටන් අත හරහා දඟර කඳට ලබාදීම සිදු වේ. පිස්ටන් ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් නිෂ්පාදනය කරනු ලබන අතර ප්‍රසාරණ වාසිය සැලකිල්ලට ගෙන ටේපර්-ඕවල් හැඩයකට නිර්මාණය කෙරේ. පිස්ටන් බදේ සම්පීඩන වළලු සහ තෙල් වළලු සඳහා ඇලි සකස් කර ඇත. පිස්ටනය පිස්ටන් අතට
සම්බන්ධ කිරීම සඳහා පිස්ටන් බඳ හරහා ගිය සිදුරක් තුළ ”පිස්ටන් ඇණය” නම් ලෝහ විල්ලක් ඇත. ප්‍රසාරණ වාසිය සැලකිල්ලට ගෙන පිස්ටන් බඳේ විවිධ නිර්මාණ සිදු කර
ඇති අතර පිස්ටන් හිස ද විවිධ හැඩවලට නිර්මාණය කෙරේ.

 
 06. පිස්ටන් අත - CONNECTING ROD
පිස්ටනය, දඟර කඳට පිස්ටන් අත මඟින් සම්බන්ධ කරනු ලබන අතර එහි එක් කෙළවරක් කුඩා කොන ලෙස ද අනෙක් කොන මහා කොන ලෙස හඳුන්වනු ලබන අතර කුඩා කොන පිස්ටනයේ ඇති පිස්ටන් ඇණයට ද මහකොන දඟර කඳට ද සම්බන්ධ වන අතර පිස්ටන් අත් ප්‍රබල බලයන්ට ඔරොත්තු දිය හැකි ලෙස මිශ්‍ර වානේවලින් I අකුරේ හැඩය ඇති හරස්කඩක් පිහිටන ලෙස නිපදවා ඇත.
07. වෑල්ව - VALVES
සිව්පහර එන්ජිමක සෑම සිලින්ඩරයක් සඳහා වෑල්ව දෙක බැගින් යොදා ඇති අතර ඒවා චූෂණ හා පිටාර වෑල්ව ලෙස හඳුන්වනු ලැබේ. චූෂණ වෑල්වය හරහා පෙට්‍රල් වාත මිශ්‍රණය හෝ වාතය සිලින්ඩරය තුළට ඇතු`ථ කිරීමත් පිටාර වෑල්වය හරහා දැවුණු වායු පිට කිරීමත් සිදු කෙරේ. සමහර එන්ජින්වල සිලින්ඩර තුළට වැඩි පෙට්‍රල් වාත මිශ්‍රණයක් හෝ වාත ප්‍රමාණයක් ලබා දී බලය වැඩි කර ගැනීම සඳහා චූෂණ වැල්වයේ හිස විශාල ව නිපදවා ඇති අතර සමහර එන්ජින්වල එක් සිලින්ඩරයක් සඳහා වෑල්ව 3ක් හෝ 4ක් ඇත. මෙම නිර්මාණයන් සහිත එන්ජින්වල බලය වැඩි අතර වෑල්වයන් නිකල්, ක්‍රෝමියම්, කොබෝල්ට් අඩංගු මිශ්‍ර වානේවලින් නිෂ්පාදනය කරනු ලැබේ.


08. නළහමුවුව - MANIFOLD
එන්ජින් හිසට මෙම නළ හමු ඇණ සහ මුරිච්චි මගින් සම්බන්ධ ව පවතින අතර මේවා චූෂණ නළ හමු හා පිටාර නළ හමු වශයෙන් හැඳින්විය හැක. පෙට්‍රල් වාත මිශ්‍රණයේ ,වාතය චූෂණ නළ හමුව ඔස්සේ සිලින්ඩර කරා ගමන් කරනු ලබන අතර දැවුණු වායුව පිටාර නළ හමුව ඔස්සේ පිටාර නළය කරා ගමන් කෙරේ. චිනට්චට්ටි ලෝහයෙන් වාත්තු කර මෙම නළ හමු නිෂ්පාදනය කර ඇති අතර සමහර එන්ජින්වල චූෂණ නළ හමු ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් ද නිෂ්පාදනය කර ඇත.










එන්ජිමක ක්‍රියාකාරීත්වය


ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකය යටතේ එන්ජින් ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න වෙනවනේ. ඔන්න ඒකට මගෙන් උදව්වක්. පෙට්‍රල් එන්ජින් ක්‍රියාකාරීත්වය සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ දෙකක් දෙනවා. මේවා බලන්න. බලලා අවබෝධ කරගන්න. කොටස් පිළිබද දැනුම වගේම යාන්ත්‍රණය පිළිබද දැනුමත් වැදගත්. තව


මෙම වීඩියෝ සියල්ල අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. එහි ගෞරවය නිර්මාණකරුවන්ට හිමිය.



01. සිව්පහර පෙට්‍රල් එන්ජිමක ක්‍රියාකාරීත්වය

02. සිසිලන පද්ධතිය


ඩීසල් එන්ජින් ගැන විස්තර ඉදිරියට.......

Tuesday, November 19, 2019

ජල සම්පාදන ක්‍රම


මේ පෝස්ටුවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට ජල සම්පාදන ක්‍රම ගැන තොරතුරු ටිකක් දෙන්නයි. විශේෂයෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට වැදගත් වන ක්ෂුද්‍ර ජල සම්පාදනය ගැන තොරතුරු රාශියක් මෙහි අන්තර්ගතයි. එහෙනම් ඉතින් බාගෙන කියවලා බලන්න.

මෙතනින් ගන්න.

වැසි ජලය එක්රැස් කිරීම


මෙන්න වැසි ජලය එක්රැස් කිරීම සම්බන්ධ තොරතුරු ගණනාවක් අන්තර්ගත ලිපියක්. කියවලා බලන්නකෝ.

මෙතනින් ගන්න.

ජෛව අණු


තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයට අවශ්‍ය සටහනක් දෙන්නයි. මේකේ අන්තර්ගත වෙන්නේ ජෛව අණු ගැන. අරගෙන කියවලා බලන්න.

මෙතනින් ගන්න.

ජෛව පද්ධති තාක්ෂණවේදය බහුවරණ ප්‍රශ්න


ඔන්න මගේ ගානේ තවත් බහුවරණ ප්‍රශ්නපත්‍රයක්. වැඩිය නෑ. ප්‍රශ්න 60යි. කරලා බලන්නකෝ. ප්‍රශ්න සම්බන්ධ ගැටළුවක් තියේ නම් comment එකක් දාන්න.

මෙතනින් ගන්න.

A රාමුව


පාංශු සංරක්ෂණ ක්‍රම වලදී සමෝච්ඡ රේඛා ලකුණු කරන්නට A රාමුව භාවිත කරන බව දන්නවා නොවැ. මෙන් එය සාදාගන්නා ආකාරය සහ භාවිත කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්

මෙතනින් ගිහින් බලාගන්න.

කාබනික පළිබෝධනාශක නිෂ්පාදනය


ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ ප්‍රාෙයා්ගික පරීක්ෂණයට උපකාර වන වීඩියෝ දෙකක්ම මෙන්න. කාබනික පළිබෝධනාශක වර්ග නිෂ්පාදනය ගැන. මාතෘකාව ක්ලික් කරලා අදාළ වීඩියෝව බලන්න.

01 - සුදුළූනු නිස්සාරකය සැකසීම

02- කොහොඹ නිස්සාරකය සැකසීම

උස් තවාන් සැකසීම


විවිධ තවාන් වර්ග ගැන ඉගෙන ගන්නවානේ. මෙන්න ඒ අතරින් පාත්ති තවාන් වර්ගයක් වන උස් තවාන් සකස් කරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්. සිංහලෙන්ම තියෙනවා.

මෙතනින් බලන්න

පුනරීක්ෂණ


ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරිපත් කර ඇති ජෛව පද්ධති තාක්ෂණවේදය පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය මෙන්න.

මෙතනින් ගන්න.

Sunday, November 17, 2019

තවාන් ජීවාණුහරණය කිරීම


තවාන් ජීවාණුහරණය කිරීම සම්බන්ධ ලස්සන වීඩියෝවක් ලැබුණා. මම හදපු එකක් නම් නෙවෙයි මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හදපු එකක්

මෙතනින් ගිහින් බලන්න.