Wednesday, November 20, 2019

වීවල පසු අස්වනු ක්‍රියාකාරකම්

වී වල පසු අස්වනු ක්‍රියාකාරකම්
“වී අස්වනු නෙළීමේ සිට සහල් පරිභෝජනය කරන තෙක් සිදු කරන සියලු ක්‍රියාකාරකම් පසු අස්වනු ක්‍රියාකාරකම් වේ.”
මෙමගින් වී වල පසු අස්වනු හානි අවම වන අතර, එමගින් නිෂ්පාදන වියදම අඩු කර ගත හැකි වේ.
වී වල ගුණාත්මකභාවය තීරණය කිරීමේදී පිරිසිදු නොකරන වී කිලෝ එකකින් ලබා ගත් පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය: Head Rice yield - HRY වැදගත් වේ.
දියුණු රටවල වී වල මිල තීරණය වන්නේ මෙම පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය මත ය.


නිසි පසු අස්වනු ක්‍රියාකාරකම් අනුගමනය කිරීමෙන් මෙම HRY අගය ප්‍රශස්ත මට්ටමක පවත්වාගත හැක.

වීවල ප්‍රධාන පසු අස්වනු ක්‍රියාකාරකම්
  • අස්වනු නෙළීම
  • කොළ මැඩීම
  • පිරිසිදු කිරීම
  • වියළීම
  • ගබඩා කිරීම
  • සහල් සැකසීම
  • අලෙවිය

අස්වනු නෙළීම

අස්වනු නෙළන කාලය (Time of harvesting)
නියමිත කාලයේ දී අස්වනු නෙළීමෙන් ගුණාත්මත බවින් යුතු සහල් නිෂ්පාදනයක් මෙන්ම වැඩි වෙළෙඳපොළ අගයක් ලබා ගත හැකිය.
උදා - 
අස්වනු නියමිත කාලයට පෙර නෙළීමෙන් බොල් වී වැඩි වී, අස්වැන්න අඩු වීමත් වී කෙටීමේ දී කැඩුණු සහල් ඇති වීමත් සිදු වේ.
අස්වනු නියමිත කාලයට පසු නෙළීමෙන් ක්ෂේත්‍රයේ දී පළිබෝධ හානි නිසා වී අස්වැන්න හා ගුණාත්මක බව අඩු වේ. එමෙන් ම, වී කෙටීමේ දී කැඩුණු සහල් ඇති වේ.

අස්වනු නෙළන කාලය වීවල පරිණත දර්ශක , තෙතමන ප්‍රතිශතය හා පුෂ්ප මූලාකෘති හටගැනීමෙන් පසු දින ගණන මත තීරණය වේ.

වීවල පරිණත දර්ශකය
වී කරලක ඇති පැසුණු බීජ සංඛ්‍යාව (Ripe grains per panicle) වී කරලේ බීජවලින් 85 - 90% කහ පාට වී ඝන වී ඇති අවස්ථාවේ අස්වනු නෙළීම සිදු කරයි.

වී බීජවල තෙතමන ප්‍රතිශතය
වී බීජවල තෙතමන ප්‍රතිශතය වැඩි අවස්ථාවේ අස්වනු නෙළීමෙන් වී කරලෙන් අස්වනු වෙන් කිරීම අපහසු වේ. අධික ලෙස වී කරල් වියළී ඇති විට අස්වනු නෙළීමෙන් වී ඇට හැලී, අස්වනු වලට හානි සිදු වේ.



පුෂ්ප මූලාකෘති හට ගැනීම
පුෂ්ප මූලාකෘති ඇති වීමෙන් පසු දින ගණන ගැනීිමෙන් අස්වනු නෙළන කාලය තීරණයකළ හැකි ය. මෙය වී වර්ගය අනුව වෙනස් වේ.
වියළී කාලයේ දී පුෂ්ප මූලාකෘති ඇති වී දින 28-35 අස්වැන්න නෙළිය හැකි ය. වර්ෂාකාලයේ දී මෙය දින 32-38 දක්වා වෙනස් විය හැකි ය.
මේ අනුව නියමිත කාලයේ දී අස්වනු නෙළීමෙන් පිරුණු සහල් ප්‍රතිශතය (HRY%)  වැඩිකරගත හැකි වේ.

වී අස්වනු නෙළීමේ ප්‍රධාන ක්‍රියාකාරකම්
  • ගොයම් කැපීම (Cutting)
  • කොළ මැඩීම (Threshing)
  • වී පිරිසිදු කිරීම (Cleaning)
මීට අමතරව පහත සඳහන් ක්‍රියාකාරකම්ද සිදු කරනු ලබයි.
  • ක්ෂේත්‍රයේ දී ගොයම් කපා වියළීම
  • කැපූ ගොයම් කොළ මඩින ස්ථානයට ගෙන ඒම (Hauling)
  • කොළ මඩින තෙක් ගොයම් ගොඩ ගසා තැබීම
ක්ෂේත්‍රයේ දී ගොයම් නෙළීමෙන් පසු වියළීම හා ගොයම් ගොඩ ගැසීම අනුමත නොකරන පසුඅස්වනු ක්‍රියාකාරකම් වේ. මන්ද යත්, එම ක්‍රියාකාරකම් ධාන්‍යවල ගුණාත්මක අඩු වීමටත් බීජ හැලීමටත් හේතු වන නිසා පසු අසවනු හානි වීමත් සිදු වීමයි. එම නිසා ගොයම් කැපූ විගස කොළ මැඩීම වැදගත් වේ.

අස්වනු නෙළීමේ ක්‍රම
01. දෑකැති භාවිතයෙන් අතින් අස්වනු නෙළීම
02.යන්ත්‍ර මඟින් අස්වනු නෙළීම

වී අස්වනු නෙළීම සංඳහා සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍ර (Combine harvester)භාවිතය මේ වන විට ශ්‍රී ලංකාව තුළ බෙහෙවින් ජනප්‍රිය වී ඇත. කම්කරු ශ්‍රම හිගයට හොඳ විකල්පයක් වීම, කාර්යක්ෂමතාව ඉහළ වීම, කාර්යයන් ගණනාවක් එකවර සිදු වන නිසා කාලය ඉතිරි වීම, වියදම අඩු වීම ආදී කරුණු මෙයට හේතු වී ඇත. සංයුක්ත අස්වනු නෙළනය මගින් ගොයම් කැපීම, හැසිරවීම, කොළමැඩීම හා වී පිරිසිදු කිරීම යන ක්‍රියා ඒකාබද්ධ ව හසුරුවනු ලබයි.


කොළ මැඩීම(Threshing)
කොළ මැඩීමේ දී ගොයම්වල නියමිත තෙතමන ප්‍රතිශතය නොමැති වුවහොත් (ගොයම් අධිකලෙස වියළීම හෝ තෙත් බවින් යුක්ත වුවහොත්) කැඩෙන වී ප්‍රමාණය වැඩි වීමෙන් සිදු වන පසුඅස්වනු හානි වැඩි වේ.එබැවින් වීවල තෙතමන ප්‍රතිශතය 18 - 20% අතර පවත්වා ගැනීම වැදගත් ය.
කොළ මැඩීම සදහා විවිධ ක්‍රම භාවිත කෙරේ.
  • අතින් කොළ මැඩීම 
  • මිනිස් ශ්‍රමය (Manual threshing) භාවිතයෙන් කොළ මැඩීම 
  • සත්ත්ව බලය(මී ගවයින් ) භාවිතයෙන් කොළ මැඩීම 
  • යන්ත්‍ර මගින් කොළ මැඩීම 


සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍රයේ ගොයම් කැපීම, මැඩීම සහ පිරිසිදු වීම යන සියල්ලම එකවර සිදු වන අතර කොළ මැඬීම පමණක් සිදු කරන යන්ත්‍රද ඇත.




අතින් කොළ මැඩීම සදහා ශ්‍රම අවශ්‍යතාව වැඩි බැවින් කොළ මැඩීම සදහා කොළ මඩින යන්ත්‍ර භාවිත කරනු ලබයි. කොළ මඩින යන්ත්‍ර කුඹුර ආසන්නයටම රැගෙන යා හැකි බැවින් ගොයම් ඔසවාගෙන යෑමේ දීසිදු වන අස්වනු හානිය අවම කර ගත හැකි ය.කොළ මඩින යන්ත්‍ර භාවිතයේ දී ගොයම් කැපීමත් සමග ම කොළ මැඩීමත් සිදු වන බැවින්,වීවලට සිදු වන භෞතික හානි හා ගුණාත්මක හානි වළක්වාගත හැකිය.
ධාන්‍ය පිරිසිදු කිරීම
කොළ මැඩීමෙන් පසු වී පිරිසිදු කිරීම සිදු කළ යුතුය. ධාන්‍ය නොවන වෙනත් ද්‍රව්‍ය ඉවත් කිරීම මින් අදහස් කරයි.මෙහිදී,
  • ප්‍රමාණයේ  වෙනස
  • බර  වෙනස
අනුව අපද්‍රව්‍ය වෙන් කිරීම සිදු කළ හැකි ය.
මූලිකව අපද්‍රව්‍ය ඉවත් කිරීමට ස්වභාවික සුලඟ භාවිත කරනු ලැබේ. ඊට අමතරව පංකා හෝ සිදුරු සහිත උපකරණ  යොදා ගනී. මේවා වාණිජ මට්ටමින් භාවිත වේ. එසේම අස්වනු සැකසීමේ සෑම පියවරකදීම පිරිසිදු කිරීම කළ යුතු ය.
වී පිරිසිදු කිරීමේ වැදගත්කම් පහත පරිදි වේ.
  • වී පිරිසිදු කිරීමේ දී වී සමග ඇති පිදුරු කැබලි, වල් බීජ, කුණු දූවිලි, අනෙකුත් බීජ නොවන දෑ ඉවත් වේ.
  • රෝග හානි අවම වේ.
  • වී ගබඩා කර තබා ගත හැකි කාලය වැඩි වේ.
  • වී කෙටීමේ දී ධාන්‍යයට සිදු වන හානිය අවම වේ.
  • ගුණාත්මක බවින් යුතු සහල් සැකසිය හැකි ය.

වියළීම (Drying)
අස්වනු වියළීම මගින් ධාන්‍ය වැඩි කාලයක් ගබඩා කර තබා ගත හැකි වේ. වී වියළීමට පමා වීමෙන් හෝ නිසි ලෙස තෙතමනය අඩු නොකිරීමෙන් පසු අස්වනු හානි සිදු වීම හා ගුණාත්මක බව අඩු වීම සිදු වේ.
වීවල තෙතමන ප්‍රතිශතය වැඩි වූ විට,
  • වීවල ශ්වසන වේගය වැඩි වී, උෂ්ණත්වය වැඩි වීම නිසා සහල් කහ පැහැ වීම වීම සිදු වේ.
  • කෘමි පළිබෝධ හා දිලීර හානි වැඩි වීම මගින් ධාන්‍යවල ගුණාත්මක බව අඩු වේ.
  • සහල්වල ගන්ධයක් ඇති වීමෙන් පාරිභෝගික රුචිකත්වය අඩු වේ.
  • බීජවල ජීව්‍යතාව අඩු වීමෙන් බිත්තර වී නිෂ්පාදනය කිරීමේ දී ගැටලු ඇති වේ.
වී වියළීම සිදු කරන ක්‍රම 
  • සූර්ය තාපයෙන් වියළීම
  • යන්ත්‍ර මගින් වියළීම
සූර්ය තාපයෙන් වී වියළීම
සූර්ය තාපයෙන් වී වියළීම සාම්ප්‍රදායික වියළීමේ ක්‍රමයක් වුව ද වී වියළීම සඳහා අදටත් ආසියාවේ බහුල ව මෙම ක්‍රමය භාවිත කරනු ලබයි.සරල පහසු ක්‍රමයක් වීමත් වියදම අඩු වීමත් මෙයට ප්‍රධාන හේතුවයි.



සූර්ය තාපයෙන් වී වියළීමේ දී සීමාකාරී සාධක පිළිබඳ කිහිපයක් ඇත.
  • වියළීම ප්‍රමාද වීමෙන් ශ්වසන ශීඝ්‍රතාව හා දිලීර වර්ධනය වැඩි වීම නිසා සහල් (අව) කහපැහැ වීම
  • වර්ෂාපතනය ඇති කාලවල හෝ හෝ රාත්‍රි කාලයේ සිදු කළ නොහැකි වීම
  • ශ්‍රම අවශ්‍යතාව වැඩි වීම
  • විශාල පරිමාණයෙන් සිදු කළ නොහැකි වීම
  • උෂ්ණත්වය පාලනය කළ නොහැකි වීම
යන්ත්‍ර මගින් වියළීම
යාන්ත්‍රික වියළීම සඳහා උණුසුම් වායු ධාරා සහිත වියළන භාවිත කරනු ලබයි. වර්තමානයේ මහා පරිමාණ ව්‍යාපාරික වගාවන්හිදී මෙන්ම විශේෂයෙන්ම සහල් නිෂ්පාදකයන් මෙම වියළන භාවිත කරනු දැකිය හැක.



යාන්ත්‍රික වියළීමේ වැදගත්කම් ලෙස
  • වර්ෂාපතනයෙහි බලපෑමක් නොමැති වීම
  • විශාල පරිමාණයෙන් සිදු කළ හැකි වීම
  • උෂ්ණත්වය පාලනය කළ හැකි වීම
සැලකිය හැක.

ගබඩා කිරීම
වී ගබඩා කිරීමේ දී නිසි තත්ත්ව ලබා නොදීමෙන් වීවල ප්‍රමාණාත්මක හා ගුණාත්මක හානි සිදු වේ.
උදා -
වී ගබඩා කිරීම නිසි ලෙස සිදු නොකිරීම නිසා තෙතමනය වැඩි වීමෙන්, කෘමි හානි, දිලිරහා වෙනත් සතුන්ගෙන් හානි සිදු වීම හේතුවෙන් අස්වනු ප්‍රමාණයෙන් 10 - 15% ක ප්‍රතිශතයක් ප්‍රමාණාත්මක ව හානි වේ.
වීවල ජීව්‍යතාව අඩු වී, ප්‍රරෝහණ ප්‍රතිශතය අඩු වීම සහ සහල් පරිභෝජනයට ප්‍රියනොවන තත්ත්වයට පත් වීමෙන් ගුණාත්මක ව හානි සිදු වේ.
වී ගබඩා කිරීමේදී සමතුලිත සාපේක්ෂ ආර්ද්‍රතාව (Equilibrium Relative Humidity -ERH), හා ජල සක්‍රියතාව (Water activity - awබෙහෙවින් වැදගත් වේ.
වී ගබඩා කිරීමේ දී වීවල තෙතමන ප්‍රතිශතය මත ගබඩා කාලය වෙනස් වන ආකාරය පහත වගුව මගින් දක්වා ඇත.

සහල් සැකසීම

වී තැම්බීම (Paraboiling)
වී ඒ ආකාරයෙන්ම කෙටීමෙන් කැකුළු සහල්ද කම්බා කෙටීමෙන් තම්බාපු සහල්ද නිපදවනු ලැබේ. ගුණාත්මක බවින් උසස් තම්බපු සහල් නිපදවීම සඳහා වී තැම්බීමේ දී සැලකිය යුතු කරුණු ගණනාවක් ඇත.
උදා -
  • තැම්බීම සඳහා යොදා ගන්නා වී මනාව වියළි ව හා පිරිසිදු ව තිබිය යුතු වේ.
  • වී වර්ග මිශ්‍ර නොවී තිබිය යුතු වේ.
  • තැම්බීමට ප්‍රථම වී ඇල් ජලයේ පෙඟවිය යුතු ය. මෙහිදී නොපැසුණු ඇට ඉවත්කිරීමෙන් කළු ඇට ප්‍රමාණය අඩු කරගත හැකි වේ.
  • පෙඟවීමේ කාලය - කෙටි වී සඳහා පැය 24-36, දිගු වී සඳහා පැය 48
  • පැය 12කට වරක් ජලය ඉවත් කර අලුත් ජලය දැමීමෙන් සහල්වල දුගඳ ඉවත් කරගතහැකි ය.
  • පොඟවා ගත් වී හුමාලය මගින් තැම්බීම සිදු කළ යුතු ය.
  • තැම්බූ වී බිමට බාගත් විගස සිසිල් වීම සඳහා කමතක තුනී කර තැබිය යුතු ය.
මෙලෙස තැම්බූ වී පදම් කරමින් වියළීම සිදු කළ හැකි ය.

වී කෙටීම (Rice Milling)
වී කෙටීම යනු වී පොත්ත සහ සහල් නිවුඞ්ඩ ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. 
වී කෙටීම සිදු කරන ආකාර ගණනාවක් ඇත.

01. එකවරම කෙටීමෙන් වී පොත්ත සහ නිවුඞ්ඩ ඉවත් කිරීම
උදා -

වංගෙඩියේ දමා වී කෙටීම 

මෙහිදී වංගෙඩියේ ඉහළට හා පහළට බලයක්යෙදීමෙන් වී පොත්ත ඉවත් කරයි. මෙහිදී සහල් නිවුඞ්ඬේ කොටසක් ද ඉවත් වේ.


තනි වානේ රෝදය සහිත සහල් කෙටීමේ යන්ත්‍ර (Steel single pass mill) මගින් 

මෙහිදී ද එකවර වී පොත්ත හා නිවුඞ්ඩ ඉවත් කරයි.
මෙම ක්‍රමයේදී කැඩුණු සහල් ඇට ඇති වන අතර White rice recovery ප්‍රතිශතය 50-55% වේ. එනම් HRY ප්‍රතිශතය අඩු වේ.

02. වී පොත්ත ඉවත් කිරීම හා පොලිෂ් කිරීම පියවර දෙකක දී සිදු කිරීම

මෙම ක්‍රමය බොහෝ රටවල භාවිත කරනු ලබයි. මෙහිදී රබර් රෝල්භාවිතයෙන් වී පොත්ත ඉවත් කරනු ලබන අතර, වානේ රෝදය මගින් සහල් පොලිෂ් කිරීම සිදුකරනු ලැබේ.මෙහි නොකැඩූ සහල් ඇති වීමේ (Milling Recovery) ප්‍රතිශතය 60% වඩා වැඩි වේ. එනම්, HRY ප්‍රතිශතය වැඩි ය.
මහා පරිමාණ වී කෙටීමේ කර්මාන්ත ශාලාවල වී කෙටීම පියවර ගණනාවක දී සිදු කරනු ලබයි.
  • වී කෙටීමට පෙර පිරිසිදු කිරීම
  • වී පොත්ත ඉවත් කිරීම
  • වී පොලිෂ් කිරීම
  • කැඩුණු සහල් ඉවත් කිරීම
  • සහල් බෑග්වලට ඇසිරීම
  • අතුරුඵල කළමනාකරණය



0 comments:

Post a Comment