Saturday, November 23, 2019

කාලගුණික මධ්‍යස්ථානය

කාලගුණික මධ්‍යස්ථානය
කාලගුණික දත්ත වාර්තා කිරීම සදහා උපකරණ පිහිටුවා ඇති ස්ථානයක්, කාලගුණික මධ්‍යස්ථානයක් ලෙස හදුන්වයි.


කාලගුණික මධ්‍යස්ථානයක් පිහිටුවීමේදී සැලකිළිමත් විය යුතු කරුණු


  • මේ සඳහා තෝරා ගන්නා භූමිය ප්‍රදේශය නියෝජනය වන්නක් විය යුතු ය. එනම් ප්‍රදේශයේ පොදුවේ දක්නට ලැබෙන භෞතික හා භූ විද්‍යාත්මක ලක්ෂණ තෝරා ගන්නා ස්ථානයේ ද තිබිය යුතු ය. 
  • මෙම ස්ථානය ආසන්නයේ පොකුණු හා ජලාශ නොවිය යුතු ය. 
  • ජල වහනය සතුටුදායක වූත්, සමතලා වූත් බිම් කොටසක් විය යුතු ය. බාහිර බාධකවලින් තොර විය යුතු ය. 
  • සාමාන්‍යයෙන් අවට තිබෙන ගස් හා ගොඩනැගිලි ආදී බාධකවල සිට ඒවායේ උස මෙන් හතර ගුණයක දුරින් මධ්‍යස්ථානය පිහිටුවිය යුතු ය.
  • මෙම ස්ථානයට පහසුවෙන් ළඟා විය හැකි විය යුතුය.
  • තෝරා ගත් භූමිය විවෘත අවකාශයක් ඇති (Open Space) ස්ථානයක් විය යුතුය.
  • මෙම භූමි කොටස 50 × 50m ක ක්ෂේත්‍රඵලයක් තුළ 10 ×10m  ක්ෂේත්‍රඵලයකින් යුත් භූමියක් වීම වඩා සුදුසු ය.
  • මෙම ස්ථානයේ මතුපිට සමතලා කර තෘණ වැවිය යුතු අතර නිතර ම එම තෘණ කපා පිරිසිදු ව තබා ගත යුතු ය.
  • මධ්‍යස්ථානයට සතුන්ට ඇතුළු විය නොහැකි වන සේ ආරක්ෂිත කම්බි වැටක් තිබිය යුතු ය.


කාලගුණ ඒකකයක විවිධ කාලගුණික පරාමිතීන් මැනීම සඳහා භාවිත කරන උපකරණ


උපකරණ ස්ථාපනය කිරීම
උපකරණය ස්ථාපනය කිරීමේ දී එක උපකරණයකින් අනෙක් උපකරණයට වන බලපෑම අවම විය යුතු ය. එනම් එක උපකරණයක සෙවණැල්ල අනෙකක් මතට වැටීම සිදු නොවිය යුතු ය.

සරල වර්ෂාමානය 
පොළොව මට්ටමේ සිට වර්ෂාමානයේ ඉහළ දාරයට උස 300mm වන සේ ස්ථාපනය කළ යුතු ය. මෙසේ පිහිටුවීමේ දී වර්ෂාමානයේ පහළ කොටස පොළොව තුළ ගිල්වීමට සිදු වේ (157mm ගැඹුරට). විශේෂයෙන් සෑදූ සිමෙන්ති හෝ කොන්ක්‍රීට් වේදිකාවක් තුළ මෙය ස්ථාපනය කරයි. මේ සඳහා සමතලා බිමක් තෝරා ගත යුතු අතර, ගොඩනැගිලි, ශාක වැනි බාහිර බාධකවල උස මෙන් හතර ගුණයක් ඈතින් සවි කළ යුතු ය. වර්ෂාමානයෙන් ජලය කාන්දු වේ දැයි සොයා බැලිය යුතු අතර ජලය රැස් කරන බඳුනේ දූවිලි හෝ කොළ වැටී ඇත්නම් ඒවා ඉවත් කළ යුතු ය.
මිනුම් සරාව ද පිරිසිදු ව තබාගත යුතු ය.

අනිලමානය හා සුළං දිශා දර්ශකය
කෘෂිකාර්මික කටයුතු සඳහා පොළොව මට්ටමේ සිට මීටර් දෙකක් උසින් සුළඟේ වේගය මැනීම සිදු කරයි. ඒ නිසා අනිලමානය
පිහිටුවිය යුත්තේ පොළව මට්ටමේ සිට මීටර් 2 ක් උසිනි. පරිසරයේ
සුළං බාධක ලෙස ක්‍රියා කරන දේ නොතිබිය යුතු ය.

වායු ගෝලීය උෂ්ණත්වමාන සහ තෙත් හා වියළි බල්බ උෂ්ණත්වමානය/ආර්ද්‍රතාමානය
දෛනික උපරිම හා අවම උෂ්ණත්වයන් මැනීම සඳහා සික්ස්ගේ උපරිම හා අවම උෂ්ණත්වමානය හෝ උපරිම උෂ්ණත්වමානය හා අවම උෂ්ණත්වමානය වෙන වෙන ම සවි කර ඇති ඇටවුම ද භාවිත කළ හැක. සාමාන්‍ය උෂ්ණත්වමානය, උපරිම හා අවම උෂ්ණත්වමාන සහ
තෙත් සහ වියළි බල්බ උෂ්ණත්වමානය ලී පැනලයක සවි කරනු ලබයි. ඉන් පසු මෙම උපකරණ පැනලය ඒ සඳහා විශේෂිත ව සාදා ඇති ස්ටීවන්සන් ආවරණය තුළ සවි කරයි.

සූර්ය දීප්තමානය
මෙය 1.5m පමණ උස කොන්ක්‍රීට් කුලුනක් මත 30x30cm පමණ වේදිකාවක් සාදා ඒ මත තැන්පත් කරනු ලැබේ. මෙම උපකරණය නැඟෙනහිර බටහිර දිශා රේඛාවට අනුකූලව සවි කළ යුතු ය.

කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක පමණක් දක්නට ලැබෙන උපකරණ

වාෂ්පීකරණ තැටිය
වාෂ්පීකරණ තැටිය ස්ථාපනය කිරීමේ දී තැටිය වටා වායු සංසරණය පහසු කිරීම සඳහා සහ පොළව මත ගැටීම නිසා සිදු විය හැකි තැටිය රත් වීම අඩු කර ගැනීම පිණිස ලීවලින් තැනූ ආධාරකයක් මත 15cm ක උසින් තැටිය පිහිටුවිය යුතු ය. සතුන් ජලය බීමෙන් වැළැක්වීම සඳහා තැටිය මත දැලක් තබනු ලැබේ. වාෂ්පීකරණ තැටිය කාලගුණ ඒකකය තුළ ස්ථාපනය කිරීමේ දී ආරක්ෂක වැටෙහි සිට මීටර් 1.5 ක් ඇතුළතින් ද, වර්ෂාමානයේ සිට මීටර් 5 ක් ඈතින් ද සවි කළ යුතු ය.

පාංශු උෂ්ණත්වමාන
පසෙහි උෂ්ණත්වය මැනීම සඳහා මෙම උෂ්ණත්වමාන භාවිත කරයි. මේවායේ දිග බල්බය පස තුළට ඇතුළත් වන සේ පස මතුපිට සිට සෙන්ටිමීටර් 5, 10, 20, 30 සහ 100 ක ගැඹුරින් උෂ්ණත්වමාන කිහිපයක් පොළව මත සවි කරනු ලැබේ. මෙම පාංශු උෂ්ණත්වමාන ඇවිදගෙන
යාමේ දී නොපෑගෙන ලෙස වෙන ම වැටකින් ආවරණය කර තැබේ.

කාලගුණ මධ්‍යස්ථානයක දත්ත ලබා ගැනීම
කාලගුණික මධ්‍යස්ථානයක දත්ත ලබා ගැනීමේ සම්මත වේලාව වනුයේ පැය 8.30 හා පැය 15.30 වේ. වර්ෂාපතනය, උපරිම හා අවම උෂ්ණත්වමාන පාඨාංක, සූර්ය දීප්ත පැය ගණන,
සුළඟේ වේගය හා දිශාව, දෛනික වාෂ්පීකරණය යන දත්ත පැය 8.30 ට ලබා ගනී. තෙත් හා වියළි බල්බ උෂ්ණත්වමාන පාඨාංක හා පාංශු උෂ්ණත්වමාන පාඨාංක දවසට දෙවරක් පැය 8.30ට හා පැය 15.30 දී ලබා ගනී.

දත්ත සටහන් කිරීම
දිනකට වරක් පමණක් ලබා ගන්නා පරාමිතික දත්ත සටහන් කරනු ලබන්නේ පෙර දිනය යටතේ ය.

  • වර්ෂාපතනය
  • උපරිම උෂ්ණත්වය
  • අවම උෂ්ණත්වය
  • සූර්ය දීප්ත පැය ගණන
  • සුළගේ වේගය
  • වාෂ්පීකරණය


දිනකට දෙවරක් පමණක් ලබා ගන්නා පරාමිතිකවල පාඨාංක සටහන් කරනු ලබන්නේ දත්ත ලබා ගත් දිනට ඉදිරියෙන් උදය හා හවස ලෙස ය.

  • සාපේක්ෂ ආර්ද්‍රකාව
  • පාංශු උෂ්ණත්වය



Related Posts:

  • නව විෂය නිර්දේශය ඔන්න නැවතත් දිගු නිහැඬියාවකට පස්සේ ආයෙත් Post එකක්. 2019 සඳහා උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය නිර්දේශය වෙනස් වෙලා. කට්ටිය මේ දවස් වල හෝ ගාලා පන්ති එහෙම හොයනවා ඇතිනේ....? කෝකටත් Subject එකට Enter වෙන්න කලින් ඉගෙන ගන්න … Read More
  • පළිබෝධනාශක දියර ඉසින යන්ත්‍ර ගොවිපළ යාන්ත්‍රීකරණය පාඩමට ඉතාමත්ම වැදගත් වන වීඩියෝ දෙකක් මෙන්න. පළමු වීඩියෝවේ තියෙන්නේ කෘෂි රසායන දියර ඉසින යන්ත්‍රයක කොටස් ගැන විස්තරයක්. දෙවන වීඩියෝවේ තියෙන්නේ දියර ඉසින යන්ත්‍රයක් නඩත්තු කරන ආකාරය. අනිවාර්යයෙන් මේ … Read More
  • යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ගැන සිංහලෙන්ම කියලා දෙන වීඩියෝවක් ලැබුණා. ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට ආහාර විද්‍යාව ඒකකයට වැදගත් වෙයි. පහළින් දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා වීඩියෝව නරඹන්න. මෙතනින් ගිහින් බලන්න. … Read More
  • පස පසක් යනු  පසක් යනු ඛනිජ, කාබනික ද්‍රව්‍ය, විවිධ ජීවී ආකාර, වාතය හා ජලයෙන් සමන්විත, පෘථිවිය මතුපිට පිහිටා ඇති ගොඩබිම ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් සපයන, ගතික වූ දේහයකි. පස නිර්මාණය වීම විවිධ සාධක හේතුවෙන් පාෂාණ ජීර්… Read More
  • එළවළු වගාවේ පසු අස්වනු කළමණාකරණය එළවළු වගාවේ පසු අස්වනු කළමණාකරණය සම්බන්ධ පොතක්ම මෙන්න. මෙම පොත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය හදාරන දරැවන්ට අතිරේක කියැවීමක් විදිහට මේක බොහොම වටිනවා. එහෙනම් ඉතින් බලන් ඉන්නෙ නැතුව ඩවුන්ලෝඩ… Read More

0 comments:

Post a Comment